pitakotte-incident

අනතුරකින් තරුණයකු මිය යාම සම්බන්ධයෙන් පලිගැනීමක් ලෙස පිටකොට්ටේ පාගොඩ පාරේ දී බස් කොන්දොස්තරවරයකුට තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදුකළ බව කියන ඥාති සොයුරන් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.

එම සැකකරුවන් පහර දීමට යොදා ගත් කඩු දෙකක් සහ මන්නා පිහියක් පොලිස් බාරයට ගෙන තිබේ.



අපරාධය සිදුවී පැය 12ක කාලයක් තුළදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා පැවැසීය.

බරපතළ තුවාල ලද නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි අසේල ජෝශප් නමැති 23 හැවිරිදි කොන්දොස්තරවරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටී.

තුවාල ලද කොන්දොස්තරවරයා මාර්ග අංක 176 කරගම්පිටිය හෙට්ටියාවත්ත පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයා ලෙස රැකියාව සිදුකරන අතර පෙරේදා (3) අලුයම 5ට පමණ රැකියාව සඳහා පැමිණ බස් රථය පිරිසුදු කිරීමේ යෙදී සිටියදී යතුරුපැදියකින් පැමිණ සැකකරුවන් තිදෙනා තියුණු ආයුධවලින් පහර දී පලා ගොස් තිබිණි.

මෙම වසරේ අප්‍රේල් 25 වැනි දින තුවාල ලද කොන්දොස්තරවරයා ත්‍රීරෝද රථයක් පදවාගෙන යමින් සිටියදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයකු අනතුරට ලක්ව මියගොස් තිබූ අතර ඊට පලිගැනීමක් ලෙස

ඔහුගේ ඥාති සොයුරන් විසින් මෙම පහරදීම සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කොන්දොස්තරවරයාගේ මව ද පොලිසියට සිදුකළ ප්‍රකාශයේ ඒ බව සඳහන්ව තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් පිටකෝට්ටේ, බැද්දගාන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කීය.

මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් ප්‍රභාත් මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ