police-galle-face-incident

ගෝල්ෆේස් වටරවුම අසල දී පොලිස් කොස්තාපල්වරයකුගේ ගෙල සිර කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.කොල්ලුපිටිය පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල් (104928) එම්. ඩී. ආර්. කීර්ති නිලධාරියා ගෝල්ෆේස් වටරවුම අසල රථවාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටියදී ඔහුගේ පිටුපසින් පැමිණ තිබූ සැකකරු නිලධාරියාගේ ගෙල වටා අත දමා හුස්ම ගැනීමට අපහසු වන පරිදි ගෙල සිර කර ඇතැයි පොලිසිය කියයි.





ඒ දුටු අවට ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී සැකකරුගේ ග්‍රහණයෙන් නිලධාරියා මුදාගෙන පසුව සැකකරු පොලිසිය වෙත බාර දී ඇත.අත්අඩංගුවට ගත් එම සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් ඔහුගේ මනස විකෘති වී ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. දේවාලපොල, බලබෝව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සැකකරු සාපරාධී බලහත්කාර පෑම යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එල්. දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
 බිමල් ශ්‍යාමන් ජයසිංහ