police-investigation-on-social-media

දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප හෝ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලයට හෝ අන්තර් ජාලයට මුදාහැරීමට කටයුතු කරන පුද්ගලයන් පිළිබඳ වින්දිතයන්ගෙන් පැමිණිලි ලැබුණත් නැතත් විමර්ශනය කළ හැකි ක්‍රමවේදයන් ආරම්භ කර තිබෙන බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය සඳහන් කළාය.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පවත්වාගෙන යන දත්ත පද්ධතියක් හා සම්බන්ධ වී වැඩ කටයුතු කිරීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට අවස්ථාව ලැබී තිබෙන බවත්, මෙම දත්ත පද්ධතිය පවත්වාගෙන යනු ලබන්නේ, සමාජ මාධ්‍ය ජාලා හා අන්තර්ජාලයට ළමයෙකුගේ නිරුවත් ඡායාරූප හෝ වීඩියෝ දර්ශන මුදාහරිනවා නම්, හෝ ඒවා බෙදාහරිනවා නම් හෝ නිතර නිතර මෙවැනි දේවල් නරඹනවා නම්, එම පුද්ගයන් පිළිබඳ මෙම දත්ත පද්ධතිය හරහා හුවමාරු කර ගන්නා බවත් ඒ මහත්මිය පවසා සිටියාය.



මේ අනුව අදාළ දත්ත පද්ධතිය හරහා මේ වසරේ ගෙවීගිය කාලය තුළදී මෙරට පිරිස් දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ දර්ශන නිර්මාණය කර සමාජ මාධ්‍ය ජාලයට හෝ අන්තර් ජාලායට මුදාහැරීම් සම්බන්ධ වාර්තා 98,000ක් ලැබී ඇතැයිද රේණුකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය.

පසුගිය වසරට අදාළව වාර්තා එක්ලක්‍ෂ හතළිස් හයදහසක් ලැබී තිබෙන බවත්, සමහර අවස්ථාවල එකම පුද්ගලයා අවස්ථා ගණනාවකදී අදාළ දර්ශන මුදාහැර තිබෙන බවත්, මීට අදාළ විමර්ශන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් ඒ මහත්මිය පවසා සිටියාය.

මේ අනුව සිද්ධීන් 03ක් පිළිබඳ මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙන බවත්,

මේ අනුව පෙරේදා (18දා) දිනයේදී තම ඥාති දියණිය අපයෝජනය කරමින් අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ පට නිර්මාණය කර අන්තර්ජාලයට මුදැහැරි 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බවත් රේණුකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.

ගූගල් ආයතනය විසින් අදාළ වීඩියෝ දර්ශන අවහිර කර අදාළ තොරතුරු ලබාදුන් බවත්, මේ අනුව ජංගම දුරකථන හෝ වෙනත් උපකරණ මගින් දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප හෝ වීඩියේ දර්ශන මුදාහරින පුද්ගලයන් පිළිබඳ හා නිතර නිතර මෙවැනි දර්ශන බලන පුද්ගලයන් පිළිබඳ හා මෙවැනි දේවල් අන්තර ජාලයේ හෝ සමාජ මාධ්‍ය හරහා බෙදාහරින පුද්ගලයන් පිළිබඳ තොරුතුරු ලබාදෙන බවත් ඒ මහත්මිය පවසා සිටියාය.

අදාළ සිද්ධීන් පිළිබඳ වින්දිතයන්ගෙන් තොරතුරු ලැබෙන තෙක් නොසිට දත්ත පද්ධතිය හරහා ලැබෙන තොරතුරුවලට අනුව අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවත්, මීට අමතරව වින්දිතයන් ආරක්‍ෂා කිරීමට කටයුතු කරන බවත් රේණුකා ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

ඉන්දික හේවාවිතාරණ