ගිලන්වූ භික්ෂූන් වහන්සේලා 68 නමක වැඩ වසන හංවැල්ල කළුඅග්ගල ගිරාඉඹුල පිහිටි “ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ විදුලිය විසන්ධි කිරීම නිසා සති දෙකක පමණ කාලයක් තිස්සේ එහි භික්ෂූන් වහන්සේලා දැඩි අපහසුතාවට පත්ව සිටිති.විදුලිය නොමැතිව ගත වූ සතිදෙක ඇතුළත ගිලන් භික්ෂූන් වහන්සේලා තුන්නමක අපවත් වූ අතර උන් වහන්සේලාගේ අවසන් කටයුතු කිරීමට සිදුවූයේ කළුවරේ දැඩි අපහසුතාවකින් බවද එම මධ්‍යස්ථානයේ අනුශාසක මොදරවානේ අමිලසිරි හිමියෝ පැවසූහ. මාස තුනක රුපියල් එක්ලක්ෂ හැත්තෑදහසක පමණ මුදලක් නොගෙවීම නිසා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පැමිණ විදුලිය විසන්ධි කළ බවද අමිලසිරි හිමියෝ කීහ.



විදුලිය නොමැති නිසා ගිලන් භික්ෂූ මධ්‍යස්ථානයට ජල පහසුකම් පවා ලබාගැනීම අපහසු බවද අමිලසිරි හිමියෝ පැවසූහ. රටේ පවතින ආර්ථික තත්වය නිසා දානමානාදිය නොලැබෙන අතර භික්ෂූන් වහන්සේලාගේ අවමංගල්‍ය කටයුතු පවා සිදු කිරීමට මිනීපෙට්ටියක් පවා මිලදී ගත නොහැකි වී ඇතැයිද උන්වහන්සේ කීහ. මෙම ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ විදුලිබිල ගෙවා ගැනීමටත් දානමානාදියටත් උපකාර කරන්නැයි දානපතියන්ගෙන් ඉල්ලා සිටින බවද අමිලසිරි හිමියෝ පැවසූහ.



මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නොයෙල් ප්‍රිඉන්ත මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ රුපියල් එක්ලක්ෂ හැත්තෑපන් දහසක් පමණ වනතුරුත් විදුලිබිල නොගෙවීම නිසා භික්ෂු ගිලානෝපස්ථානයේ විදුලිය විසන්ධි කර ඇති බවය.වසර කිහිපයකට පෙර ආගමික ස්ථානවලට යම් සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූවා නමුත් සියලුම දෙනා එක සමානව සලකා රාජකාරි කටයුතු කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලය දැනුවත් කළ බව ද ඔහු කීවේය.ඒ අනුව කලුඅග්ගල මාපිය අමිලසිරි ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ විදුලි බිල නොගෙවීම සම්බන්ධයෙන් හත් අටවරක්ම දැනුවත් කිරීමට අවිස්සාවේල්ල විදුලි ඉංජිනේරුවරයා කටයුතු කර ඇති බවත් නමුත් එය නොගෙවීම නිසා විදුලිය විසන්ධි කළ බවත් ඔහු පැවැසීය.
බුද්ධික කුමාරසිරි