power-pucsl-parliament

මේ වසර තුළ පමණක් විදුලි ගාස්තු තෙවතාවක්ම ඉහළ නැංවීම නිසා මෙරට ආර්ථික අර්බුදය තීව්‍ර වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පැමිණ කරුණු ඉදිරිපත් කරන්නැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල්

සහ එම කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හෙට (7) උදේ 10 ට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයිද එම කාරක සභාවේ ලේකම්වරයා දැනුම් දී ඇත. විදුලි බිල්පත් වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපා ඇති ආර්ථික අර්බුදය වඩාත් තීව්‍ර වී ඇති බවත් එම ගැටලු විසඳීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ කාර්යභාරය, වගකීම හා ඉදිරි සැලසුම් සාකච්ඡා කළ යුතු බවත් කාරක සභා ලේකම්වරයාගේ ලිපියේ සඳහන් කර ඇත.

මේ වසරේ අවසන්වරට විදුලි ගාස්තු සියයට 18 කින් ඉහළ නැංවූ අතර ඉකුත් ඔක්තෝම්බර් මස 20 වැනි දින සිට නව ගාස්තු ක්‍රියාත්මක කෙරිණි. මීට මාස කීපයකට ඉහතදී ද විදුලිය ගාස්තු සියයට 35 කින් සහ සියයට 68 කින් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත් අතර ඊට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසරය හිමිව තිබිණ.

විදුලිය ගාස්තු අධික ලෙස ඉහළ නැංවීම නිසා භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ ගිය අතර රටේ උද්ධමනය ඉහළ යෑමටද ඉන් දැඩි බලපෑමක් එල්ල විය. එවැනි තත්ත්වයක් හමුවේ විදුලිය ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව ජනතාවගෙන් දැඩි විරෝධතාවක්ද එල්ල වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ බලධාරීන්ගෙන් කරුණු විමසීමට තීරණය කර ඇත්තේ මෙවන් පසුබිමකය.

රංජන් කස්තුරි