proffesor-fake-call

ප්‍රසිද්ධ මහාචාරියවරයකූගේ කටහඬ ඒ ආකාරයටම අනුකරණය කරමින් මහාචාර්යවරයාගේ මිතුරකු රවටා රුපියල් හතළිස් දහසක මුදලක් වංචනික ලෙස ලබාගත් හොර මහාචාර්යවරයකු ගැන හබරාදූවට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වේ.වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.මහාචාර්යවරයා ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක සේවය කරන්නෙකි. කිසියම් කූට වංචනික පුද්ගලයෙක් මෙම මහාචාර්යවරයාගේ ළඟම මිත්‍රයකුට ඉකුත්දා දුරකතන ඇමතුමක් ගත්තේය. මහාචාර්යවරයාගේ කටහඬ ඒ ආකාරයටම අනුකරණය කරමින් ඔහුගේ ළඟම මිතුරකුට දුරකතන ඇමතුමදී පවසා ඇත්තේ තමා කොළඹ අවමඟුල් උත්සවයකට සහභාගීවී එද්දී අනතුරකට පත්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.



කලබල වන නිසා මේ ගැන ගෙදරට නොකියන ලෙස පවසා බෙහෙතක් ගැනීම සඳහා රුපියල් හතළිස් දහසක මුදලක් එවන ලෙසට ව්‍යාජ මහාචාර්යවරයා සැබෑ මහාචාර්යවරයාගේ මිත්‍රයාගෙන් ඉල්ලා සිටියේය. අනතුර ගැන ඇසීමෙන් මහත් සේ කම්පාවට පත් වූ  මිත්‍රයා ඔහුගෙන් ගිණුම් අංකය ඉල්ලා සිටියේය. එකවුන්ට් නම්බර් එකට නොව ඊසි කෑෂ් ක්‍රමයට මුදල් එවන ලෙස ව්‍යාජ මහාචාර්යවරයා දැන්වුයේ කරන්නට යන උදව්ව ගැන අනේක වාරයක් තුති පුදමිනි.

මහාචාර්යවරයාගේ මිත්‍රයා ළඟම ඇති සන්නිවේදන මධ්‍යස්ථානයකට ගොස් රුපියල් හතළිස් දහසක මුදල ඊසි කෑෂ් ක්‍රමයට ඔහුට යැව්වේය. එසේ යවා මොහොතකින් ව්‍යාජ මහාචාර්යවරයා සැබෑ මහාචාර්යවරයාගේ මිත්‍රයාට නැවත දුරකතන ඇමතුමක් ගෙන පවසා ඇත්තේ බෙහෙත ගැනීමට හතළිස් දහසක මුදල මදි බවයි. ඒ නිසා තවත් පහළොස් දහසක මුදලක් අවශ්‍ය බවද ප්‍රකාශ කළේය.

ඒ ප්‍රකාශය සමග මතු වූ සැකය නිසා සැබෑ මහාචාර්යවරයාගේ මිත්‍රයා ඔහුගේ ගෙදරට ගොස් මහාචාර්යවරයා කොළඹ ගියාදැයි වටින් ගොඩින් විමසා සිටියේය. මහාචාර්යවරයාගේ බිරිඳ එහිදී පවසා ඇත්තේ සැමියා උදේ ගෙදරින් විශ්ව විද්‍යාලයට ගිය බවයි. මහාචාර්යවරයාගේ මිත්‍රයාට සිදුවුණේ කුමක්දැයි වටහා ගැනීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. ඔහු  මහාචාර්යවරයාගේ බිරිඳට සියලු සිද්ධිය හෙළි කළේ ඉන් අනතුරුවය. ඒ අනුව ඇය සිය මහාචාර්ය සැමියාට සිද්ධිය එවේලේම දැනුම් දුන්නේ ඒ ගැන දැඩි ලෙස කම්පාවෙමිනි.


හබරාදුව රම්‍යා බිංදුහේවා