ragama-cancer-bike

රාගම මහ රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර ඒකකය අසල මාර්ගයේ යතුරුපැදියක සිට පිළිකා ඖෂධ අලෙව් කිරීමේ නිරතව සිටි බව කියන ජංගම වෙළෙන්දකු සිය බාරයට ගත් බව ජාතික ඖෂධ නියාමක අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.යතුරුපැදියේ ශීත පෙට්ටියක අසුරා ඖෂධ අලෙවි කළ එම පුද්ගලයා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ බාරයට ගෙන ප්‍රශ්න කර ඇති අතර පිළිකා රෝගීන්ට දෙන මෙම ඖෂධ වර්ග, අලෙවි නියෝජිතයකු තමාට දෙන බව ඔහු පවසා ඇත.



තමන් හමුවට යොමු කරනු ලබන රෝගීන්ට එම ඖෂධ අලෙවි කරන බවද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත. එම පුද්ගලයා රාගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයකු බවත් ඔහු ළඟ තිබී රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා පිළිකා එන්නත් සහ ඖෂධ වර්ග 16 ක්ද සොයාගත් බවත් ජාතික ඖෂධ නියාමක අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂක නීතිඥ වික්‍රමසේකර බණ්ඩාර මහතා පැවසීය.

මෙම පුද්ගලයාගෙන් ඖෂධ ලබා ගැනීමට රෝගීන් යොමු කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව සැකයක් මතු වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

සැකකරු ළඟ තිබී අත්අඩංගුවට ගනු ලැබූ ඖෂධ මෙරට ලියාපදිංචි කර තිබේද යන්න තහවුරු කර ගැනීම සඳහා එම ඖෂධ නියාමන අධිකාරියට යොමු කරන බවද ඔහු කීවේය. අත්අඩංගුවට ගනු ලැබූ තැනැත්තා නියම කරනු ලබන දිනකදී අධිකරණය හමුවේ පෙනී සිටීමට යටත්ව බැඳුම්කර ඇප මත මුදා හළ බව ද බණ්ඩාර මහතා කීය.


තිලකරත්න දිසානායක