පෙරේදා (19) පැවති රාජ්‍ය නාට්‍ය ස්වර්ණ ජයන්ති සම්මාන උළෙලේදී ප්‍රසිද්ධියේ කථාවක් කළ එහි විනිසුරු මඩුල්ලේ (නාට්‍ය උපදේශක මණ්ඩල) ප්‍රධානී ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල මහතා සිදුවූ අසාධාරණයක් හා දේශපාලන බලපෑමක් ගැන ප්‍රසිද්ධියේ කතා කර සභාවෙන් පිටව ගියේ පැමිණ සිටි අයගේ අත්පොළසන් මධ්‍යයේය. සංස්කෘතික ඇමති විදුරගේ නියෝගයක් මත සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා හසන්ති ගුණවර්ධන සම්මාන උළෙල සඳහා ජීවිතයට වරක් පමණක් පිරිනමන  ‘නාට්‍ය කීර්ති ‘ සම්මානය සඳහා විනිසුරු මඩුල්ල නම් කළ ‘ඩග්ලස්‘ සිරිවර්ධන‘ ගේ නම ඉවත් කිරීම අසාධාරණ බව පරාක්‍රම නිරිඇල්ල මහතා පෙන්වා දුන් අතර මහින්ද රාජපක්ෂ සමයේ කලා සංගම් වල ප්‍රධානියෙකු ලෙසද කටයුතු කළ ඩග්ලස්‘ සිරිවර්ධන මහතාගේ නම ඉවත් කිරීම දේශපාලන උවමනාවකට සිද්ධ කළ එකක් ලෙස පෙන්නුම් කෙරිණි.
පරාක්‍රම නිරිඇල්ලගේ ප්‍රකාශය ජනපති හා සංස්කෘතික ඇමති ඉදිරියේ නොබියව පළවූ අතර ඔවුනට කටඋත්තර නැති විය.


ඔහුගේ කතාවේදී මෙසේ කියැවිණි.

‘‘කලාවට අතහිත දීමේ සහ සත්කාර කිරීමේ ප්‍රතිපත්තියක් රජයට නොමැති වීමේ ඛේදනීය තත්ත්වය නිසා කලාකරුවන් පීඩනයට පත් වෙනවා. උපදේශක මණ්ඩලය කටයුතු කරන්නේ ප්‍රජාතන්ත්‍රීය අවකාශයක් තුළයි. සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමන්ටත් නාට්‍ය​ෙව්දී කලයි චෙල්වම් මැතිතුමන්ටත් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මැතිතුමන්ටත් ජීවිතයේ එක් වරක් ලැබෙන සම්මානය ඔවුන් නාට්‍ය කලාවේ උන්නතියට කළ මෙහෙය අගයා පිරිනැමිය යුතු යැයි රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය යෝජනා කළා. අපේ යෝජනාව අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාවගේ අත්සනින් මේ තිදෙනාට ම නොවැම්බර් එකොළොස් වැනිදාතමින් ආරාධනා ලිපි යවා තිබෙනවා. ඉන් පසු නැවතත් එම අධ්‍යක්ෂිකාවගේ අත්සනින් යුතුව නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතාට ලබන වසරේ සම්මානය දෙන බවට දන්වා යවා තිබෙනවා. කවුද මෙවැනි ප්‍රතිපත්තියක් හදිසියේම හැදුවේ. මේ සම්බන්ධයෙන් රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව දැනුවත් කළා ද?. මේ ගැන දෙපාර්තමේන්තුවෙන් කළ විමසුමේ දී දැනගැනීමට ලැබුණේ ඇමැතිවරයාගෙන් ලැබුණු නියෝගයක් අනුව මේ වෙනස සිදු කළ බව යි.

මෙවැනි සිද්ධියක් මේ රටේ නෙමෙයි මේ ලෝකෙ කොහෙවත් සිදු වී තිබෙන බවක් මම අහලා නැහැ. මේක නාට්‍ය කලාවට මෙහෙවරක් කළ නාට්‍යකරුවකුට කළ අගරුවක්. එය රාජ්‍ය නාට්‍ය උළෙලේ පනස් වැනි සංවත්සරයට සිදු කළ මකා දැමිය නොහැකි කිළුටක්. ඇමැතිතුමාටත් අධ්‍යක්ෂවරියටත් අවශ්‍ය ආකාරයට උපදේශක මණ්ඩලයේ නිර්දේශ සහ තීරණ අත්තනෝමතික ලෙස වෙනස් කළ හැකි නම් මම සහ අපි මේ උපදේශක මණ්ඩලයේ සිටීමේ තේරුමක් නැහැ. මේ නිසා රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලයෙන් සහ සාමාජිකත්වයෙන් ඉවත් වෙනවා. ‘‘


රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති ධුරයෙන් සහ සාමාජිකත්වයෙන් ඉවත් වන බව කී ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ලයන් කතාව නිම කර පැමිණි පිරිස නැගිට අත්පොලසන් දෙද්දී සභාවෙන් පිටව ගියේය.
වීඩියෝව පහතින්