ranjan-laptop-fake-cid
ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක සමාජ සත්කාරයක් ලෙස සිදු කරන ලැප්ටොප් පරිගණක බෙදාදීමේ වැඩසටහන මුවාවෙන් සිදුකරන ජාවාරමක් ගැන තොරතුරු හෙළිවීමෙන් පසු ඔහු ඒ ගැන පැමිණිලි කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබේ.

රන්ජන් වැඩිමනක් විදෙස් ගත ශ්‍රීලාංකිකයින්ගේ ආධාර ඇතිව විශාල ප්‍රමාණයක් ලැප්ටොප් පරිගණක මෙරටට ගෙන්වා තොරතුරු තාක්ෂණ විෂයය හදාරණ තරුණ තරුණියන්ට ස්වයං රැකියා ඇරඹීමේ උදව්වක් ලෙස මෙම පරිගණක බෙදාදීමේ වැඩසටහන සිදු කළ අතර ඒ සදහා පරිගණක ත්‍යාග ලෙස ලබන අයගෙන් කිසිදු මුදලක් අයකරගෙන තිබුනේ නැත.



නමුත් මෙම වැඩසටහන ප්‍රසිද්ධියට පත්වීමෙන් පසු එක්තරා වංචනිකයින් පිරිසක් ‘රන්ජන්ගේ පරිගණක තෑගි‘ ලබාගන්නට අයදුම් කරන ලෙසත් ඒ සඳහා මූලික ගාස්තුවක් ගෙවා ලියාපදිංචි වන ලෙසත් පවසමින් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයක් සිදුකර තිබෙන අතර එයට රැවටී ඇතැම් පිරිස් සිය ක්‍රෙඩිට් කාර්ඩ් දත්ත ඇතුළු වැදගත් තොරතුරු එම වංචනිකයින් වෙත ලබාදී තිබේ.
රන්ජන් රාමනායක හා කිසිදු සම්බන්ධයක් නැති බාහිර කණ්ඩායමක් මෙම වංචාව සිදුකර ඇති අතර ඔවුන් රන්ජන් රාමනායක නමින් ව්‍යාජ ෆෙස්බුක් පිටු හා රන්ජන් උඩුගත කළ පැරණි වීඩියෝ උපයෝගී කරගනිමින් ඒවා විශ්වාස කරන ආකාරයට උඩුගත කරමින් මෙම රැවටීම සිදු කර තිබේ.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක හා අන්තර්ජාලය සම්බන්ධ විමර්ශන නිලධාරීන්ට රන්ජන් මේ ගැන පැමිණිලි කර තිබෙන අතර ඒ ගැන සොයා බලන බව ඔවුන් දන්වා තිබේ.
මේ අතර රන්ජන් ඉල්ලීමක් කරන්නේ සම්පූර්ණයෙන් නොමිලේ සිදු කරන තම ව්‍යාපෘතිය සඳහා කිසිදු කෙනෙකුගේ බහට රැවටී මුදල් ගෙවීමට හෝ ක්‍රෙඩිට් කාර්ඩ් අංක අන්සතු කිරීමට උත්සාහ නොකරන ලෙසයි.