‘මිනි කූපර්’ වර්ගයේ සුඛෝපභෝගි මෝටර් රථයක් ව්‍යාජ දත්ත ඉදිරිපත් කරමින් ලියාපදිංචි කර රජයට බදු ආදායම් අහිමි කළ සිද්ධියට අදාළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් 5 දෙනකු ඇතුළු හත් දෙනකුගේ විදෙස් ගමන් තහනම් කර ඇති බව අල්ලස් කොමිසම පවසයි. 1994 අංක 20 දරන අල්ලස් හෝ දූෂණ සංශෝධන පනත ප්‍රකාරව මොවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය නිකුත් කළ බවද එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙලෙස විදෙස් ගමන් තහනම් කරනු ලැබ ඇත්තේ මෝටර් රථ
ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක වැඩසටහන් සම්පාදක කුකුළේගම
කංකානම්ලාගේ රෝහිත සමරවීර එහි සංවර්ධන සහ පර්යේෂණ හිටපු කොමසාරිස්
කළුදේවගේ බන්දුල ජයසිංහ,
එම දෙපාර්තමේන්තුවේ විමර්ශන සහකාරවරුන් වන නීතිඥ මුණසිංහ ආරච්චිගේ උපුල් ප්‍රියන්ත ද සිල්වා, මුත්තුංග මුදියන්සේලාගේ කේමන්ත මුත්තුංග, එහි ලිපිකාරු නෙරළුව ගමගේවත්ත චන්න රෝහිත සහ ව්‍යාපාරිකයන් වන රන්දි මෝටර් හිමිකරු දිසානායක මුදියන්සේලාගේ ධර්මරත්න බණ්ඩා සහ ඔහුගේ බෑණනුවන් වන වලිසුන්දර මුදියන්සේලාගේ අජිත් කුමාර වලිසුන්දර යන අයගේය.
වර්ෂ 2017දී මෙරටට ගෙන්වූ ත්‍රිරෝද රථයක දත්ත ඉවත් කර ඒ වෙනුවට 2015දී මෙරටට ආනයනය කරන ලද ‘මිනිකූපර්’ වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය ලියා පදිංචි කර රජයට අය විය යුතු රුපියල් ලක්ෂ විසිපහක බදු මුදලක් අහිමි කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම අයවලුන්ට එරෙහිව ඉකුත් 22 වැනි දා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකලේය.
රජයට බදු මුදල් වංචා කරමින් මේ ආකාරයෙන් ව්‍යාජ ලෙසින් ලියාපදිංචි කරන ලද වාහන සංඛ්‍යාව පන්දහසකට ආසන්න බවට හඳුනාගෙන ඇති බවත්, ඉන් සුඛෝපභෝගී වාහන 200කට අධික සංඛ්‍යාවක් මේ වන විට හඳුනාගෙන ඇති බවත්, අල්ලස් කොමිසම පවසයි. රුපියල් බිලියන ගණනින් රජයට බදු ආදායම අහිමි කරමින් සිදු කරන මෙම මහා පරිමාණ වංචාව සංවිධානාත්මක ආකාරයෙන් සිදුකරන ලද්දක් බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ බුද්ධි අංශ විමර්ශන ආරම්භ කර ඇති බවත් එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.
නිමන්ති රණසිංහ
0 Comments