roshan-bribe-slc

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට ප්‍රදානය කළ බව කියන මුදල් අවභාවිතා කළේ යයි චෝදනා කරමින්, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (04 වැනිදා) පියවර ගත්තේය. ශ්‍රී ලංකාවේ අනෙකුත් ක්‍රීඩා සංවර්ධන කිරීම සඳහා මෙම මුදල් ප්‍රදානය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.

මෙම පැමිණිල්ල ගොනු කිරීමට තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වෙන් කරන ලද මුදල් අපේක්ෂිත අරමුණු සඳහා යොදා ගැනීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය සවිස්තරාත්මකව හෙළි නොකිරීම හේතුවෙනි.



ජාතික ක්‍රීඩා අරමුදලට ප්‍රදානය කරන ලද මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමතිවරයා විසින් මාධ්‍ය වෙත අනාවරණය කරන ලද තොරතුරු සහ තොරතුරු දැනගැනීමේ අයිතිය (RTl) යටතේ අයදුම්පතක් ඉදිරිපත් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණු පිළිතුර අතර ඇති පැහැදිලි විෂමතා මෙන්ම වියදම් වල විශේෂතා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උලුප්පා දක්වා තිබේ.

“මූල්‍ය ගණුදෙණුවල පාරදෘශ්‍ය බව පවත්වා ගැනීමේ වැදගත්කම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරයි. ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ඉහළම පාලන ප්‍රමිතීන් සහ ආචාර ධර්ම ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කැපවීම අල්ලස් කොමිසම වෙත ගොනු කර ඇති පැමිණිල්ල මගින් අවධාරණය කෙරේ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (04 වැනිදා) නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවේ.



 “මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා කරුණු සොයා බලා අවශ්‍ය පරිදි සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වාස කරයි" යයි නිවේදනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ගැටලුවට සාධාරණ විසඳුමක් සහතික කිරීම සඳහා අදාළ බලධාරීන් සමග අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බවත් ප්‍රකාශ කරයි.