ruhuna-university-lecturer-adopt-abuse

දරුකමට හදාගැනීමට ගත් බව කියන 05 හැවිරිදි දැරියකට කෲර වධ හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

විශ්වවිද්‍යාලයේ කඹුරුපිටියේ නිල නිවසක සිටින දරුවකු අසාමාන්‍ය ලෙස නිතර අඬන බවට කිසිවකු මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතාට දුන් තොරතුරකට අනුව ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත.



ඒ අනුව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි කේශලා බෝගහවත්ත මහත්මිය ඇතුළු කණ්ඩායමක් කඹුරුපිටිය නිල නිවසට ගොස් එම දැරිය පොලිස් භාරයට ගත්තේය.

ඒ වන විටත් ඇයගේ ශරීරයේ ස්ථාන රැසක පහරදීම් හේතුවෙන් නිල් පැහැ ගැන්වී තිබූ බවත්, නාසය, තොල්, තල්ල ආදී ශරීර අංග තුවාල වී තිබූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.



වෛද්‍ය පරික්ෂණයකට ලක් කර අධිකරණ නිලධාරි වාර්තාවක් ලබා ගැනීම සඳහා දැරිය මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරු බෙල්ට් එකක් කැඩෙන තෙක් එම දැරියට පහරදී ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.

ළමා නිවාසයක සිටි එම දැරිය හදාගැනීම සඳහා නඩුවක් මගින් ලබාගෙන ඇති බවද කියති.

මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (18) කරුණු වාර්තා කිරීමට නියමිත අතර ඉන් පසුව සැකකාර කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගැනීමට නියමිතය.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත,

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ, මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි කේශලා බෝගහවත්ත මහත්මිය ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවයි.
 ක්‍රිෂාන් ජීවක ජයරුක්