russian-man-arrested-in-galle

හබරාදුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගෙන මුදල් නොදී පලා යාමට තැත්කළ අවස්ථාවේ එහි සේවකයන් විසින් අල්ලා පොලිසියට බාරදෙනු ලැබීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කෙරුණු විදේශිකයකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය රුපියල් හැටහත් දහසක දඩ නියම කළාය.
මෙසේ දඩ නියම වූයේ උණවටුන නිවෙසක තාවකාලිකව නතරව සිටින 45 හැවිරිදි රුසියානු ජාතිකයකුටය.


මෙම රුසියානු ජාතිකයා දින කිහිපයකට පෙර ඉන්ධන පිරවුම්හලට පැමිණ ඉන්ධන ලබාගෙන මුදල් නොදී පලාගොස් ඇති අතර පසුගිය 21 වැනිදාද පැමිණි මෝටර් රථයට රුපියල් 3000ක ඉන්ධන ලබාගෙන මුදල් නොදී පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ අල්ලා පොලිසියට බාරදී ඇත.
පසුව පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මෝටර් රථයේ පිටුපස අසුනේ තිබී ඔහු විසින්ම නිෂ්පාදනය කර ගන්නා ලද නීති විරෝධී මත්පැන් බෝතල් 17 ක් ද සොයාගෙන ඇත.
වාහන පැදවීම සඳහා රියැදුරු බලපත්‍රයක් ද නොමැති මෙම සැකකරු පසුදින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අතිරේක මහේස්ත්‍රාත්වරිය බීමත්ව රිය පැදවීමේ චෝදනාවට

රුපියල් 25000ක දඩයක්ද බලපතක් නොමැතිව වාහන පැදවීමේ චෝදනාවට රුපියල් 25000ක දඩයක්ද නීති විරෝධී මත්පැන් බෝතල් 170 රුපියල් 17000ක දඩයක් ද නියම කළාය.
මෙදින පැමිණිලිකාර ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු අධිකරණයට පැමිණ නොසිටි අතර ඔහුට සිතාසි නිකුත් කර වැඩිදුර නඩු විභාගය ජනවාරි 5 වැනිදාට කල් තැබීමට ද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
හබරාදුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර දුනුවිල මහතා සමග උප පොලිස් පරීක්ෂක විමල් මහතා පැමිණිල්ල මෙහෙය විය.

උණවටුන ඩී.ජී. සුගතපාල