sagara-kariyawasam-punnakku

මෙරට උපදින දරුවන් 100ක් ගතහොත් තිදෙනෙකු කුහකයන් වන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ප්‍රධාන ලේකම්වරයා විසින් සිදු කරන ලදැයි පැවසෙන ප්‍රකාශයකට විරුද්ධව එම පෙරමුණෙහි බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත පුන්නක්කු බාල්දියක් රැගෙන ඒමට ජනඅරගල ව්‍යාපාරය ඊයේ (18දා) කටයුතු කර තිබිණ.



ඒ අනුව ආරක්ෂක අංශ විසින් අදාළ කාර්යාලයට ළඟා වීමට විරෝධතාකරුවන්ට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ඔවුන් පුන්නක්කු බාල්දිය එම කාර්යාලයට පිවිසෙන මාර්ගයේ තබා විරෝධතාව දක්වා තිබිණ.

කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පසුගියදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජාතික මහා සම්මේලනයේදී එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් මෙම ප්‍රකාශය සිදු කරන ලද බැවින් එය පක්ෂයේ මතයද නොමැති නම් මහින්ද, බැසිල් හෝ නාමල් යන රාජපක්ෂවරුන්ගේ මතයද යන්න පිළිබඳ ජනඅරගල ව්‍යාපාරය මෙහිදී ප්‍රශ්න කරයි.



එසේම එම ප්‍රකාශය අනුමත කරන්නේද යන්න පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ද රටට ප්‍රකාශ කළ යුතු බව එම ව්‍යාපාරයේ සභාපති, චානක බණ්ඩාර මහතා පවසා සිටී.
  නිදර්ශනි වික්‍රමසිංහ