saharan-investigation

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රයේ මහ මොළ­කරු මොහො­මඩ් සහ­රාන්ට සහ ඔහුගේ ඥාති හිත­මි­තු­රන්ට නවා­තැන් පහ­සු­කම් සලසා දෙමින් ත්‍රස්ත­වා­ද­යට උදවු කළැයි කියන කල්මුණේ ප්‍රදේ­ශයේ ව්‍යාපා­රි­ක­යකු සම්බ­න්ධ­යෙන් විශේෂ විම­ර්ශ­න­යක් ආරම්භ කළ බව ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් ප්‍රසාන් අම­ර­සිංහ මහතා ඉදි­රියේ ඊයේ (13) කරුණු වාර්තා කළේය.

2005 අංක 25 දරන ත්‍රස්ත­වා­දීන්ට මුදල් සැප­යීම මැඬ­පැ­වැ­ත්වීමේ සම්මුති පනත යටතේ කල්මුණේ පදිංචි සාවුල් හමීඩ් මොහො­මඩ් නමැති ව්‍යාපා­රි­කයා සම්බ­න්ධ­යෙන් මෙලෙස විම­ර්ශ­න­යක් ආරම්භ කළ බව ද ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.



පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් පසු එනම් 2019 වසරේ අග භාග­යේදී මොහො­මඩ් සහ­රාන් යන අයට පහ­සු­කම් සලසා ත්‍රස්ත­වා­ද­යට ආධාර උප­කාර කිරීමේ චෝද­නා­වට මෙම සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන රැඳ­වුම් නියෝග මත රඳවා තබා­ගෙන ප්‍රශ්න කර පසුව රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටි අයකු වන බවත් මේ වන විට මොහු එම සිද්ධි­යට ඇප මත නිද­හස්ව සිටින සැක­ක­රු­වකු වන බවත් ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් වැඩි­දු­ර­ටත් සිදු කරන විම­ර්ශ­න­ය­කදී හෙළිවී ඇත්තේ මෙම සැක­කරු මොහො­මඩ් සහ­රාන්ට පම­ණක් නොව ඔහුගේ ඥාතීන්ට සහ සහ­රාන්ගේ හිත­ව­තුන්ට මෙන්ම බොම්බ ප්‍රහා­ර­යේදී මරා­ගෙන මැරුණු ත්‍රස්ත­යින්ට ද මොහු නවා­තැන් පහ­සු­කම් සපයා දී මුදල් උප­යා­ගෙන ඇති බව යන්න ත්‍රස්ත මර්දන කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර­මින් සඳ­හන් කළේය.



ඒ අනුව මොහු ත්‍රස්ත­යින්ට ආධාර උප­කාර කර­මින් මුදල් උප­යා­ගෙන ඇති බවට කරුණු අනා­ව­ර­ණය වන බැවින් මොහු සම්බ­න්ධ­යෙන් මෙම විම­ර්ශ­නය සිදු කර අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කිරී­මට බලා­පො­රොත්තු වන බව ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පවත්වා අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කරන ලෙසට ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­ස­යට නියෝග කර­මින් නඩුව බහා තැබීය. 


නිමන්ති රණ­සිංහ