sanath-jayasuriya-possion

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වැටී සිටින අගාධයෙන් ගොඩගැනීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම උපදේශක තනතුර සදහා සනත් ජයසූරිය මහතා පත්කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සාකච්ඡා කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් සනත් ජයසූරිය මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් දින කිහිපයකට ඉහත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වී තිබේ.

උසස් දස්කම් මධ්‍යස්ථානයට (HPC) අනුබද්ධ කෙරෙමින් ‘උපදේශක' තනතුරට පත්කරනු ලබන සනත් ජයසූරියගේ මූලික වගකීම් වන්නේ උසස් දස්කම් මධ්‍යස්ථානයේ කටයුතු නිසි පරිදි කළමනාකරණය කිරීමත්,

19 න් පහළ කණ්ඩායම්, ශ්‍රී ලංකා ‘ඒ' කණ්ඩායම් සහ අනෙකුත් ජාතික මට්ටමේ කණ්ඩායම් පිළිබඳ සොයා බැලීමත්ය.

ඊට අමතරව ජාතික කණ්ඩායමේ අවශ්‍යතා පරිදි අනුගමනය කළ යුතු දූරදර්ශී ක්‍රියාකාරකම්, උපක්‍රම, තාක්‍ෂණික උපදෙස් මෙන්ම ක්‍රීඩකයන්ගේ අභ්‍යාස සහ පුහුණු කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමත් සනත් ජයසූරියගේ කාර්යයන්ට අයත් වේ.

සමස්තයක් වශයෙන් ගත් කල්හි ශ්‍රී ලංකා කණ්ඩායමේ පූර්ණ සංවර්ධනය පිළිබඳ වගකීම සහ වගවීම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයාට පැවරෙනු ඇත.

2000 දශකය මුලදී, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරමින්,

එක දිගට ටෙස්ට් තරග 9 ක් ජයගත් සනත් ජයසූරිය 2002 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සම ශූරතාව කරාත්, 2003 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය කරාත් ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ විධායක කමිටු රැස්වීම සඳහා තවමත් දින නියම වී නැතත් එම විධායක කමිටු රැස්වීම පෙර හෝ, කමිටු සාමාජිකයන්ගේ ලිඛිත අනුමැතිය ඇතිව, සනත් ජයසූරිය මහතා ඉහත තනතුරට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටී.

 දමින්ද විජේසූරිය