school-solar-panel-system

පාසල් සඳහා සූර්ය පැනල සවි කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරිමට නියමිතය. එම නියාමන ව්‍යාපෘතිය මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයෙන් ආරම්භ කර ඇත. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පවසන්නේ මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ මසකට රුපියල් 20,000කට වැඩි විදුලි බිලක් ඇති පාසල් සදහා මුලින්ම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.



නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේදී පැවැති මිනුවන්ගොඩ අධ්‍යාපන ව්‍යුහ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

මිනුවන්ගොඩ කලාපයේ ඉහළ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබා ගත් පාසල් 08ක් අගයමින් එම පාසල්වල විදුහල්පතිවරුන්ට සහතිකපත් ප්‍රදානය කිරීම මෙහිදී සිදුකෙරුණි.

අනතුරුව මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 35ක් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් නිර්මාණය කළ ප්‍රධාන සැලසුම් නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි මහතා විදුහල්පතිවරුන්ට මෙහිදී පිළිගැන්වීය.



එමෙන්ම 'අපේ පාසල - අපේ දෑතින් සුරකිමු’ ව්‍යාපෘතිය යටතේ පාසල් 17ක වර්ණාලේප හා සුළු අලුත්වැඩියාව සඳහා මුදල් ලබාදීමද මෙහිදී සිදු කෙරුණි. ඇමති ප්‍රසන්ත රණතුංග මහතාගේ ඉල්ලීම මත මිනුවන්ගොඩ පාසල් සංවර්ධනය කිරීම සඳහා හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුෆර් ෆවුසි මහතාට අයත් සහීඩා පදනම ඉදිරිපත් වී තිබේ. එම පදනම ලබාදුන් රුපියල් ලක්ෂ 100ක මුදලක් පාසල් 08ක සංවර්ධන කටයුතු වෙනුවෙන් විදුහල්පතිවරුන්ට මෙහිදී ප්‍රදානය කළහ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට සහ විදුහල්පතිවරුන්ට අවධාරණය කළේ මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ පවතින ගුරු පුරප්පාඩුව ලබන වසරේ මුල් කාර්තුවේදී අවසන් කිරීමට කටයුතු කරන බවයි.
  නවෝද්‍යා පවනි