shehan-semasinghe-speaks

ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තීන්දු කළ බවත්, ඒ අනුව දෙසැම්බර් මාසය වනවිට රට බංකොළොත්භාවයෙන් ඉවත් වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.



පාර්ලිමේන්තුවේදී ඊයේ (30දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.



ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක වීම ගැන සතුටු වන බවත්, රට බංකොළොත් කර ජාත්‍යන්තරය හමුවේ සිඟමන් යැදීමට පත් කළ කණ්ඩායම ණය මුදල් ලැබීම හරහා උදම් ඇනීම ගැන ලැජ්ජා විය යුතු බවත් එහිදී අදහස් පළ කරමින් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ -

ඊයේ දිනයේදී අපට තීරණාත්මක තීන්දුවක් ලැබුණා. ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුව ඊයේ තීන්දු කළා අපි විසින් මේ වන තෙක් සාකච්ඡා කරපු ආකාරයට අපට ඒ ණය ප්‍රතිව්‍යුහගතකරණය සදහා අවශ්‍ය මූලික එකගතාව පළ කරන්න. නිල ණය හිමියන්ගේ කමිටුවේ රටවල් 17ක් ඇතුළත් වෙනවා. ඉන්දියාවත් එහි ඇතුළත්, ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දෙවැනි වාරිකය නිදහස් කිරීම සදහා ඔවුන්ගේ විධායක මණ්ඩලය ඒ අවශ්‍ය තීන්දුව ලබාදීලා, මේ රටේ ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරන්න සහ අපි බලාපොරොත්තු වන ආර්ථික වර්ධනය සදහා ලබන වර්ෂය තුළ ගමන් කරන්න හැකි වෙයි කියලා. අපි විශ්වාස කරනවා දෙසැම්බර් මාසය වෙද්දි මේ බංකොළොත්භාවයෙන් ඉවත් වෙන්නත්, දෙවැනි වාරිකය ලබාගැනීමටත් හැකි වෙයි.



විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල -

අපි මේ ප්‍රතිව්‍යුහගතකරණය ගැන සතුටුවෙනවා. එත් මේ ජාත්‍යන්තරයෙන් හිගා කත්ත සිදු වුණේ ඔයාලා රට බංකොළොත් කරපු නිසා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ -

ආර්ථිකයේ පසුබෑමක් ආවා. රට බංකොළොත් වුණා. ඉතිහාසයේ මේ රට ගත්ත තීන්දු තීරණ වැරදිලා තියෙනවා. ඒ වැරදිවලින් පාඩම් ඉගෙනගෙන අපි අලුත් ගමනක් මේ ගමන් කරන්නේ.

 දිනේෂ් සමරකෝන්