south-korea-chathuranga-death

දකුණු කොරියාවේ සේවයට ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයකු ඔහු සමඟ සිටි තවත් ශ්‍රී ලාංකිකයකුගේ පිහි පහරකින් ඝාතනය කරනු ලැබ තිබේ. ඉකුත් ඉරුදින (3) අලුයම් කාලයේදී මේ මිනී මැරුම සිදුව ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කැරැත්තවල, නුගපේ, පමුණුගම පදිංචි බී.කේ. ෂෙනිත් දුලාජ් චතුරංග නමැති 29 හැවිරිදි විවාහක එක් දරු පියෙකි.

මේ ඛේදජනක පුවත අසා චතුරංගගේ ආදරණීය බිරිය, වයස අවුරුදු 1යි මාස 2ක් වයසැති ශෙනුදි මිරායා දියණිය සමඟ චතුරංගගේ මව හා පියාද අතිශය කම්පනයට පත්ව තිබේ.. සිය ස්වාමිපුරුෂයාගේ අනපේක්ෂිත වියෝව දරාගැනීමට නොහැකිවූ බී.ජී. මෙලනි වාසනා (26) ආයාසයෙන් සිද්ධිය මෙසේ විස්තර කළාය:

“මමයි චතුරංගයි මීට වසර තුනකට පමණ ඉහතදී තමයි විවාහ වුණේ. චතුරංග තමයි මගේ ජීවිතය. එයා අවුරුදු දෙක හමාරක් ජපානයේ සේවය කෙරුවා. චතුරංග එයාගේ තාත්තට අම්මට හරිම ආදරෙයි. එයා ජපානයේ ඉඳලා ලංකාවට ආවේ තාත්තා අසනීප වුණ නිසයි. ඒ ඇවිත් තාත්තගේ එළවළු ව්‍යාපාරයට උදවු කරමින් හිටියේ.



අපේ පුංචි දුව අපට ලැබිලා අවුරුද්දක් විතර යද්දී අපි හැමෝගෙම අනාගතය සැපවත් කරන්න හිතාගෙන තමයි එයා මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ 19 වැනිදා කොරියාවේ රස්සාවට ගියේ. එයා එහි වෙල්ඩර් කෙනෙක් විදියට තමයි සේවය කෙරුවේ. කොරියාවේ මොප්පෝ ප්‍රදේශයේ එයාගේ කාමරයේ එයයි තවත් ළමයි දෙන්නෙකුයි ඉන්නවා. අල්ලපු කාමරයේ තවත් දෙන්නෙක් ඉඳලා තියෙනවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් නිතරම බීලා ඇවිත් චතුරංග එක්ක ආරවුල් ඇති කරගන්නවා කියලා එයා මට කිහිප වරක්ම කියලා තිබුණා. එයා එහෙ ඉන්න එයාගෙ ඒජන්තවරයාටත් කියලා තිබ්බා ඉන්න තැන කරදරයි,

 වෙනත් තැනක් හොයල දෙන්න කියලා. ගිය ඉරිදා රෑ මාත් එක්ක කතා කරද්දීත් චතුරංග කිවුවෙ අල්ලපු කාමරේ ඉන්න අරුණ මනෝජ් කියන කෙනාගෙන් කරදරයි කියලා. මම කිවුවා ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න, කතාවට යන්න එපා කියලා. එහෙම මම කිවුවට පස්සේ චතුරංග නිදාගන්න යනවා කියලා ෆෝන් එක තිබ්බා. එයා නිදාගෙන ඉද්දී තමයි අල්ලපු කාමරේ හිටපු කෙනා ඇවිත් පිහියකින් පපුවට ඇනලා තියෙන්නේ. චතුරංගගෙ කාමරේ එයත් එක්ක ඉන්න යාළුවෙක් එයාගේ ගෙදරට කතා කරලා මේ බව කියලා තිබ්බා. ඒ ගෙදර අය ඇවිත් තමයි අපට මේ දරාගන්න බැරි කතාව කිවුවෙ. එයා නිඳාගෙන ඉද්දී පිහියෙන් පපුවට ඇන්නට පස්සේ එක පාරටම නැඟිටලා මට පිහියෙන් ඇන්නා කියලා එතනම වැටිලා තියෙනවා. මගේ චතුරංග කාත් එක්කත් හොඳින් ආශ්‍රය කරපු කෙනෙක්. එයාට මේ වගේ දෙයක් වුණා කියලා කොහොමද විශ්වාස කරන්නේ…

“අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට (4 දා) ගියා එතකොට තමයි ඒ රටේ ඉඳලා ෆැක්ස් එකක් එතෙන්ට ආවේ චතුරංගට පිහියකින් ඇනලා නැති වෙලා කියලා. චතුරංගට පිහියෙන් ඇනපු කෙනා එරට පොලිසිය මඟින් අත්අඩංගුවට අරගෙන කියලා කියනවා. ඉස්සරහට දැන් අපි මොනවා කරන්නද කියලා මට තේරෙන්නේ නෑ.”

ජා-ඇළ – ප්‍රසංග පෙරේරා