sri-lanka-cricket-donate-ground-staff

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ක්‍රීඩාංගණ කාර්යමණ්ඩල වෙත ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයින් හා අයිසීසී ඔස්සේ ලැබුණ පොරොන්දු වූ ත්‍යාග මුදල් බෙදාදීම සිදුකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ මෙමගින් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කාර්යමණ්ඩලයට සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ කාර්යමණ්ඩලයට මෙම ත්‍යාග මුදල් හිමිවන බවය.



මෙම බෙදාදීම සිදු නොකළ බවට පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පවසා තිබුණි. කෙසේ වෙතත් මෙම බෙදාදීම සිදු කළේ එකී ප්‍රකාශයෙන් පසුද පෙරද යන්න නිවේදනයේ සඳහන් නොවේ.

මෙමගින් කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ භූමි කාර්යමණ්ඩලයේ 138කට මුදල් ලබාදී ඇති අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ භූමි කාර්යමණ්ඩලයේ 115කට එළැඹෙන සිකුරාදා ත්‍යාග මුදල් ලබාදීමට නියමිතව ඇත.

මේ සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ඩොලර් 25,000ක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 25,000ක් දායකත්වයක් ලබාදී තිබේ.

ඒ අනුව බෙදාදීමට නියමිත මුළු මුදල රුපියල් මිලියන 16කට ආසන්න බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම ත්‍යාග මුදල ස්ථීර සහ කොන්ත්‍රාත් පදනම මත සේවයේ නිරත වූ ක්‍රීඩාංගණ සේවකයින්ට හිමිවීමට නියමිතය.