tiran alas son

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පුතා පැදවූ මෝටර් රථය ගලගෙදර ප්‍රදේශයේ දී සුදු ඉර කැපීම හේතුවෙන් පොලිසිය ඔහුට රුපියල් 1,100 දඩ කොළයක් දී ඇති අතර, ඔහු එම දඩ මුදල ගෙවා ඇතැයි පොලිසිය කියයි. පොලිසිය භාර ඇමැතිවරයා වන්නේ ද අමාත්‍ය ටිරාන් අලස් මහතාය.ටිරාන් අලස් මහතාගේ පුතා ඉකුත් (2) දා පදවා ගෙන ගිය මෝටර් රථය ගලගෙදර ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයේ සුදු ඉර කැපී ගිය බව ද දුටු එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් දෙදෙනා එම රථය නතර කරන ලෙසට සංඥා කර ඇත.



පොලිස් නිලධාරීන්ගේ නියෝගයට අවනත වූ රියැදුරා රථය නතර කළ අවස්ථාවේ පොලිස් නිලධාරින් දෙදෙනා ඔහු කළ වරද පහදා දී ඒ වෙනුවෙන් රුපියල් 1,100 ක දඩ කොළයක් නිකුත් කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.රියැදුරාගේ රියැදුරු බලපත්‍රය ද පොලිස් නිලධාරින් දෙදෙනාගේ භාරයට ගෙන ඇත.කිසිදු කතාබහකින් තොරව දඩ කොළය අතට ගත් රියැදුරා දඩ මුදල ගෙවා දැමීම සඳහා ආසන්නම තැපැල් කාර්යාලය තිබෙන්නේ කොහිදැයි විමසීමක් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. පොලිස් නිලධාරියකු නිකමට මෙන් ඔහුගේ අනන්‍යතාවය හෙළි කර ගැනීම සඳහා තොරතුරු විමසූ අවස්ථාවේ තමා අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පුත්‍රයා බව පවසා ඇතැයි කියති.

මේ බව අසා කලබලයට පත් වූ බව කියන පොලිස් නිලධාරින් දෙදෙනා ‘‘ඇයි සර් කලින් ඒ බව නොකිව්වේ’'' යැයි විමසා ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.ඇමැතිවරයාගේ පුතා වුවත් තමන් කළේ වරදක් නිසා තමන් දඩ කොළය ගෙවා දැමීමට කිසිසේත් පසුබට නොවන බව ඔහු කියා  ඇති බව ද පැවසේ.ප

ොලිස් නිලධාරීන් දෙදෙනා ඇමැති පුතාගෙන් එම දඩ කොළය හා රුපියල් 1,100 මුදල ද ඉල්ලාගෙන පොලිස් යතුරු පැදියෙන් තැපැල් කාර්යාලයට ගොස් එම දඩ මුදල ගෙවා එහි රිසිට් පත ද රැගෙන පැමිණ රියැදුරු බලපත්‍රය සමග එම රිසිට් පත ඇමැති පුතාගේ අතට පත්කර ඇත.

අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පුතාගේ මෙම ක්‍රියාව දැනගත් පොලිස් නිලධාරීන් බොහෝ දෙනකු ඔහුගේ නිහතමානීකම ගැන ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කර ඇතැයි ද දැන ගැනීමට ඇත. දඩ කොළය ලියා සිටීමෙන් වැළකී සිටීම සඳහා ටිරාන් අලස් මහතාගේ පුතාගෙන් යම් මුදලක් ඉල්ලූ බවට තොරතුරු වාර්තා වන නිසාත් පරීක්ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ලලිත් පතිනායක මහතා විසින් මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතාට උපදෙස් දී ඇත.



නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඒ අනුව මේ ගැන පුළුල් හා විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට මහනුවර පොලිස් අධිකාරිනී ජානකී සෙනෙවිරත්න මහත්මිය පත්කර ඇත. පොලිස් අධිකාරිනී සෙනෙවිරත්න මහත්මිය ඊයේ සවස ගලගෙදර පොලිසියට ගොස් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.දඩ කොළය නොලියා යම් මුදලක් පොලිස් නිලධාරීන් දෙදෙනා ඉල්ලූ බව කියන අවස්ථාවේ ඇමතිවරයාගේ පුතා තමා කවුදැයි හෙළි කර තමා වරදක් කර ඇති නිසා ඒ වෙනුවට දඩ කොළය ලබාදෙන ලෙස පොලිස් නිලධාරීන් දෙදෙනාට දැනුම් දීමක් කර ඇතැයි ද පැවසේ. නිලධාරීන් දෙදෙනා එම දඩකොළය ලියා එය රැගෙන ගොස් තැපැල් කන්තෝරුවට ගෙවා එහි රිසිට් පත රැගෙන ඇවිත් රියදුරු බලපත්‍රය ද සමඟ ඇමති පුතාට පසුව භාරදී ඇතැයි ද කියති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය