tution-girl-kidnapped

දියණිය පෞද්ගලික උපකාරක පංතියකට ගොස් තමා සමග නිවස කරා පැමිණෙමින් සිටියදී දියණියගේ පෙම්වතා තමාටද පහරදී 17 හැවිරිදි දියණියව පැහැරගත් බවට මවක් 13දා සවස පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව මතුගම පොලීසිය පවසයි.



සිසුවිය හොරණ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බවත්, ඇය සමග මතුගම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකට ගොස් එමින් සිටියදී තවත් පුද්ගලයෙකු සමග ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරු දියණියගේ අතින්

ඇද ත්‍රිරෝද රථයට නංවාගෙන ඇති බවට මතුගම යටදොළවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක සිදුකළ පැමිණිල්ලේ සදහන් වේ.

එම අවස්ථාවේ පැමිණිලිකාරිය ද ත්‍රිරෝද රථයට නැගීමට උත්සාහ දරා ඇති අතර, සැකකරු ඇයට පා පහරක් එල්ල කර තර්ජනය කර පලාගොස් ඇති බවද පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වේ.

සැකකරු සහ පැහැරගැනීමට යොදාගත් ත්‍රිරෝද රථයද හඳුනාගෙන ඇති බවත් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බවත් පොලිසිය කීය.

සිද්ධිය සම්බන්ධයෙන් මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
 බුලත්සිංහල - සුමති කුඩලිගම