twins-sale-piliyandala

දින හතක් වයසැති පිරිමි නිවුන් දරුවන් දෙදෙනකු මුදලට විකුණූ බව කියන පිළියන්දල ප්‍රදේශයේ කාන්තාවක සහ දරුවන් ලබාගත් බව කියන කාන්තාවන් දෙදෙනකු ඊයේ (7) අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.රාගම ප්‍රදේශයේ නිවෙසක මවක  නොමැති දින 7 ක් වයසැති බිලිඳකු සිටින බවට රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් එම අදාල නිවෙසට ගොස් කළ විමර්ශනවලදී එම බිලිඳා රැකවරණයේ තබාගෙන සිටි කාන්තාව බිලිඳාගේ මව නොවන බව තහවුරු වූ බව පොලිසිය කියයි.



එම කාන්තාවගෙන් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව කළ පරීක්ෂණවලදී දරුවාගේ මව එම දරුවා සමග තවත් නිවුන් දරුවකු බොරැල්ල කාසල් රෝහලේදී ප්‍රසූත කර ඇති බව අනාවරණය වී ඇත.දරුවාගේ මව බව කියන කාන්තාවට මීට පෙර විවාහයේ දරුවන් දෙදෙනකුද සිටින අතර ඇය පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය පවසයි.

ඇයගේ පෙර විවාහය කැඩීයාමෙන් අනතුරුව ඇය තවත් පුද්ගලයකු සමග ඇසුරක් පවත්වා ඇති අතර ඔහුට දාව මෙම නිවුන් දරුවන් දෙදෙනා බිහිකර ඇති බව පොලිසිය කියයි.මෙම කාන්තාවට ස්ථීර රැකියාවක් නොමැති අතර මෙම දරුවන් හදාගැනීම සඳහා රාගම ප්‍රදේශයේ කාන්තාවකට සහ කැලණිය ප්‍රදේශයේ කාන්තාවකට නිවුන් දරුවන් දෙදෙනා දී ඇති බව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.



කැලණියේ පදිංචි කාන්තාව දරුවා ලබාගෙන රුපියල් 25,000 ක මුදලක් එම කාන්තාවට දී ඇති බවද පොලිසිය පවසයි. දරුවකු ලබාගත් රාගම ප්‍රදේශයේ කාන්තාව එම දරුවාගේ මවගේ එදිනෙදා ගමන් බිමන්, රෝහල් වියදම සඳහා මුදල් වියදම් කර ඇති බව පොලිසිය කියයි. නිවුන් දරුවන් දෙදෙනා සහ මව ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට යොමුකර ඇති අතර සැකකාරියන් දෙදෙනා සහ මව වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගයාන් සූරියආරච්චි