two-women-oneman-arrested-fraud-ad

ප්‍රසිද්ධ දැන්වීම් පළකර මහජන ආධාර පතන රෝගීන්ගේ ගිණුම්වලට ඇතුළත් වී රුපියල් ලක්ෂ 250කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන අක්කා නගෝ සහ මවගේ අනියම් සැමියා ලබන 2 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (19) නියෝග කළේය.සැකරුවන්ගේ බැංකු ගිණුම් වාර්තා ලබාගැනීමට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දුන්නේය.

සැකකරුවන් කිව්.ආර්. කේත භාවිත කරමින් භාණ්ඩ මිලදී ගත් බැංකු ගිණුම් වාර්තා කැඳවීමට මෙසේ අවසර දුන්නේය.

මුදල් ආධාර ලබා දෙන බවට පවසා රෝගීන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගෙන, එම තොරතුරු භාවිත කරමින් ජංගම දුරකථන සිම්පත්වල පිටපත් හරහා මෙම වංචාව සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ජනක ප්‍රසාද්, සුවතා නෙක්මී පෙරේරා සහ සෙව්වන්දි මදුශානි පෙරේරා යන සැකකරුවන්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක රියැලිටි වැඩසටහනක ගායකයකුගේ ගිණුමෙන් රුපියල් ලක්ෂ තිස් අටක මුදලක් වංචා කිරීමට එරෙහිව සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.



ලියුකේමියා රෝගයෙන් පෙළෙන ගායන ශිල්පියාට කුලුපග ලෙස කතා කර රුපියල් ලක්ෂ පහක ආධාර මුදලක් ලබා දෙන බවට පවසා තොරතුරු ලබාගෙන ඇති බවත් මහජන ආධාර වශයෙන් ගායන ශිල්පියාගේ ගිණුමට ලැබී තිබූ රුපියල් ලක්ෂ හැත්තෑ අටක මුදලින් ලක්ෂ තිස් අටක් මෙසේ වංචනිකව ලබාගෙන ඇති බව ද, පරිගණක අපරාධ අංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය. මුහුණු පොත ඔස්සේ සහ විවිධ මාර්ග ඔස්සේ දැන්වීම් පළකර මහජන ආධාර පතන රෝගීන් එකොළොස්දෙනකු පමණ මෙම සැකකරුවන් විසින් රවටා රුපියල් ලක්ෂ 250කට ආසන්න මුදලක් වංචා කර ඇති බවට කරුණු අනාවරණය කර ගනිමින් පවතින බවද සඳහන් කෙරිණි.
රෝෂන් තුෂාර