ජ්‍යෙෂ්ඨ සිනමා නිළියක වූ උදුලා දාබරේ මහත්මිය (අවු. 87) ඊයේ (26) අභාවප්‍රාප්ත වූවාය.
‘කැලෑ හඳ’ චිත්‍රපටයේ සුළු චරිතයකින් සිංහල සිනමාවට පිවිසි ඇය කුඩා කල කරුණාරත්න අබේසේකරයන්ගේ ‘ළමා පිටියේ’ විවිධ වැඩසටහන්වලට සහභාගි වී ඇත. ‘කරු අයියාගේ’ යොමු කිරීමෙන් 1954දී ‘වරද කාගෙද’ චිත්‍රපටයේ විකට චරිතයක් රඟමින් ජනප්‍රියත්වයට වූ ඇය රදළ පිළිරුව, දුප්පතාගේ දුක, දස්කම, ගැහැනු ගැට,නළඟන, පිරිමියෙක් නිසා, සුවිනීත ලාලනී, දරුවා කාගෙද, සීගිරි කාශ්‍යප, සූරයන්ගෙත් සූරයා ආදි චිත්‍රපටවල කැපීපෙනෙන චරිතවලට පණ පෙවුවාය.
මියයන තුරුම අවිවාහකව සිටි ඇය රන් දිය දහර (2004), රෝස කැලේ (2008) හා මධුර චාරිකා (2018) චිත්‍රපටවල වියපත් චරිත නිරූපණය කළාය.
ඇයගේ රංගන කුසලතාව අගයා 1997දී රජත ජයන්ති සම්මාන උලෙළේදී ‘නමස්කාර පූජා’, 2005දී ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී ‘පුරෝගාමි’, 2014දී ‘සුවඳ පද්ම’ සම්මානවලින් පිදුම් ලැබුවාය.
ඇයගේ දේහය මේ වන විට පොල්ගස්ඕවිට, කිරිගම්පමුණුව, ගෝල්ඩන් මෙඩෝව්ස් නිවාස සංකීර්ණයේ 32/ 97 දරන ස්ථානයේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අද සවස 4.00ට මත්තේගොඩ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
0 Comments