vavuniya-incident

වවුනියාව සුන්දරපුරම් ප්‍රදේශයේ පදිංචි පියෙකු 14 හැවිරිදි සිය දියණිය බලහත්කාරයෙන් ලිංගික අපයෝජනයට ලක්කර ගැබිනියක් කිරීමේ වරදට බරපතළ වැඩසහිතව වසර 12 ක සිරදඬුවමක් නියම කිරීමට වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා නියෝග කළේය.

2013 වසරේ සිට එම පියා විසින් සිය දියණිය අපයෝජනය කර ඇති බවට අනාවරණය වී ඇත. දියණිය ගැබ්ගෙන 2015 වසරේදී පිරිමි දරුවෙකු බිහිකිරීමත් සමග වවුනියාව පොලීසිය විසින් පියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

පරීක්ෂණවලදී හෙළිවී තිබුණේ දියණියගේ මව විදෙස්ගතව සිටීම හේතුවෙන් පියා විසින් 14 හැවිරිදි දියණිය අපයෝජනය කර ඇති බවටය.

දියණිය විසින් බිහිකරන ලද දරුවාගේ සහ දියණියගේ පියාගේ ඩී.එන්.ඒ පරීක්ෂණයකින් අනතුරුව දරුවා දියණියගේ පියාගේ බවට තහවුරු වීමෙන් පසුව මහාධිකරණ විනිසුරු විසින් අදාළ නියෝගය නිකුත් කළේය.මීට අමතරව දියණියට රුපියල් ලක්ෂ 6ක වන්දියක්ද පියා විසින් ලබාදිය යුතු බවට මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා විසින් නියෝග කරන ලදී.

වවුනියාව -මධුෂංක අමරසිංහ