vishwa-budda-arrested

‘විශ්ව බුද්ධ මුනි’යන නමකින් පෙනී සිට බුදු දහමට නිගා කරමින් ආගමික සංහිඳියාව බිඳෙන අයුරින් ‘ටික් ටොක්’ සමාජ මාධ්‍යවල බරපතල ලෙස සදාචාර විරෝධී ලෙසින් හැසුරුණු රත්නපුරේ විමල බුද්ධි හෙවත් ‘විශ්ව බුද්ධ මුනි’ නමැති භික්ෂුවගේ බැංකු ගිණුම්වලට වසරකට දෙවතාවක් විදෙස් මුදල් ලැබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ ඊයේ (15) කරුණු වාර්තා කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර භික්ෂුවගෙන් ගත් ප්‍රකාශවලින් මේ කරුණු අනාවරණය වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය අධිකරණයට සදහන් කළේය. ඒ අනුව එම භික්ෂුවගෙගේ නමින් ඇති පෞද්ගලික බැංකු ගිණුම් දෙකක වාර්තා කැඳවීමට ද

අධිකරණයෙන් නියෝගයක් නිකුත් විණි.මේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝෂන් පත්‍රයක් මඟින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙ නියෝගය නිකුත් කළේය.
මෙම සැකකරු 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනතේ (අයිසීසීපීආර්) 3 (2) සහ (3) වගන්ති ප්‍රකාරව මෙන්ම ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 290, 291 වගන්ති ප්‍රකාරව වරදවල් සිදුකර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.සැකකාර භික්ෂුව ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණයෙන් නියෝග නිකුත් වූයේ ඉකුත් 13 වැනිදා ය.ඒ අතර මෙම භික්ෂුව මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමු කර මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරියට නියෝගයක් නිකුත් කළේය.

සැකකාර භික්ෂුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු බවට අධිකරණ වෛද්‍ය වාර්ථාවේ සඳහන්ව ඇති බවත්, මෙම භික්ෂුව මෙහෙයවීමට යම් සංවිධානාත්මක කල්ලියක් කටයුතු කර ඇද්දැයි යන්න සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.