welipanne-missed-girl

පසුගිය 27 වැනි දින රාත්‍රී නිවසින් අතුරුදන් වූවා යැයි පැවසෙන වැලිපැන්න හිජ්‍රා මාවතේ පදිංචි මොහොමඩ් අමීන් පාතිමා අස්මියා නම් 24 තරුණියගේ මළ සිරුර (30) සවස 4.00 ට පමණ ප්‍රදේශවාසීන් විසින් සොයාගනු ලැබ ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි.

වැලිපැන්න පොලිස් වසමේ මූණ මල්වත්ත ගගේ මීගම තොටුපොළ ආසන්න කැලෑබද ප්‍රදේශයක ගං ඉවුරේ තිබී මළ සිරුර සොයා ගෙන ඇති බවත්, එම ස්ථානයට ළඟා වීම ඉතා අසීරු කරුණත් වූ බවත් පොලිසිය සඳහන් කරයි.



වැලිපැන්න සිට කිලෝ මීටර් කිහිපයක් දුර ගගේ ළඟාවීමට දුෂ්කර ස්ථානයක තිබී සොයාගත් මළසිරුර ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා බෝට්ටු සහ ඔරු යොදාගැනීමට ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව කටයුතු කළහ.

මළ සිරුර තිබෙන ස්ථානයට බෝට්ටුවක් මගින් පැමිණි වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා ස්ථානීය පරීක්ෂණ සිදුකළ අතර, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර නාගොඩ මහ රෝහල වෙත යොමු කිරීමට නියමිතව තිබිණි.

වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ද සිල්වා මහතාගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක චාමර, පොලිස් සැරයන් නන්දන සහ පොලිස් කොස්තාපල්වරුන් වන අමරපාල ලසන්ත යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 මීගහතැන්න ප්‍රේමතිලක පෙරමුණ