wellawa-incident

වැල්ලව නගරයේ මත්පැන් අලෙවි සැලක් ආරම්භ කිරිම සඳහා විහාරාධිපති හිමිනමක් අනුමැතියක් ලබා දුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින් ප්‍රදේශවාසීන් පිරිසක් සමග ඇතිවූ ආරවුලකින් පසුව පහර කෑමට ලක්වූ භික්ෂූන් වහන්සේලා දෙනමක් සමග පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා පෙරේදා (02දා) රාත්‍රියේ රෝහල්ගත කර ඇති බව වැල්ලව පොලීසිය පවසයි.වැල්ලව නගරයේ පිහිටි විහාර භූමියකදී මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවී තිබෙන බවත්,

වැල්ලව නගරයේ පවත්වාගෙන යන බීර අලෙවි සැලට අමතරව තවත් මත්පැන් අලෙවි සැලක් ආරම්භ කිරීම සඳහා විරෝධතාවක් නොමැති බවට එම විහාරයේ විහාරාධිපති හිමියන් විසින් අනුමැතිය ලබාදී ඇති බවට සැක කරමින් ඒ සම්බන්ධයෙන් විහාරස්ථානයේ දායකයන් ඇතුළු පිරිසක් විරෝධය පළ කිරීමට ගිය අවස්ථාවේදී මෙම ගැටුම්කාරි තත්ත්වය හටගෙන තිබෙන  බවත් පරීක්ෂණවලදී අනාවරණය විය. මත්පැන් අලෙවිසැලක් ආරම්භ කිරීමට ප්‍රදේශයේ ජනතාව විරෝධය පළ කරද්දී විහාරාධිපති හිමියන් එම ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබාගෙන ඊට අවසරය ලබාදී ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා එල්ල කරති. විහාරස්ථානයේ වැඩවසන භික්ෂූන් දෙනමක් සහ එම පිරිස අතර ඇතිවූ ආරවුල සමථයකට පත් කිරීම සඳහා පැමිණි වැල්ලව පොලීසියේ නිලධාරීන්ටද එම පිරිසේ විරෝධතාව එල්ලවී තිබෙන අතර,

එහිදී ආරවුල දුරදිග ගොස් පිරිස අතරේ ඇතිවූ ගැටුමේදී භික්ෂූන් දෙනම සමග පොලිස් නිලධාරියෙකු සහ ප්‍රදේශවාසියෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට හා වැල්ලව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටින බවද පොලීසිය සඳහන් කරයි.

මෙම ගැටුම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(ගීතාංජලී ප්‍රියදර්ශනී)