රුපියල් 1,000 ව්‍යාජ නෝට්ටු මුද්‍රණයකර,ඉන් අයිස් මත්ද්‍රව්‍ය මිලදීගෙන, පානය කිරීමේ නිරතව සිටියේ යැයි කියන තරුණයන් දෙදෙනෙක් මාලිගාවත්ත පොලීසිය විසින් මාලිගාවත්ත ප්‍රදේශයේදී ඉකුත් 6 වැනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.


අත්අඩංගුවට ගනු ලැබූ තරුණයෝ දෙදෙනා අවුරුදු 20 සහ 24 යන වයස්වල පසුවන්නෝ වෙති.

ඉන් එක් සැකකරුවකු අල්ලා ගනු ලැබ ඇත්තේ, වෙළෙඳසලක් පවත්වාගෙන යන කාන්තාවක විසිනි.



ව්‍යාජ මුදල් නෝට්ටුවලින් අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට අමතරව, ඔවුන් වෙළෙඳ සල් වලින් බඩුබාහිරාදිය ද මිලදීගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.

සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු හෙළි විණි යැයි පොලීසිය සඳහන් කරයි.

 විසි හැවිරිදි වියේ පසුවන සැකකාර තරුණයා මාලිගාවත්ත ප්‍රදේශයේ වෙළෙඳසලකට පැමිණ රුපියල් 1,000 නෝට්ටුවක් එම වෙළෙඳසලේ අයිතිකාරිනියට ලබා දී බඩුමුට්ටු මිලදී ගැනීමට උත්සාහ කර ඇතැයි එම නිලධාරියා කීය.

මෙය ව්‍යාජ මුදල් නෝට්ටුවක් බව පෙනී යෑමෙන් පසු වෙළෙඳසලේ අයිතිකාරිනිය මෙම තරුණයා පලා යෑමට නොහැකි වන ආකාරයට අල්ලා, මෙල්ල කරගෙන මේ බව මාලිගාවත්ත පොලීසියට දැනුම් දී ඇත.



මාලිගාවත්ත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ වෙළෙඳ සලේ අයිතිකාරිය භාරයේ සිටි සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සැකකරු ළඟ තිබූ රුපියල් 1,000 නෝට්ටුව ද පොලිස් භාරයට ගනු ලැබීය.

මෙම තරුණයාගෙන් ප්‍රශ්න කර, හෙළි කරගත් තොරතුරු මත ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ නිරතව සිටියේ යැයි කියන අනෙක් තරුණයා මාලිගාවත්ත ප්‍රදේශයේ නිවෙසක සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

ව්‍යාජ දහසේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් බවට සැලකෙන මුද්‍රණ යන්ත්‍රය ද, රුපියල් 1,000 ව්‍යාජ නෝට්ටු දෙකක් ද සොයාගත් බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසියේ නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

  ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය