දිස්ත්‍රික්ක 11කට ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 3,409කට අයත් පුද්ගලයන් 12,573ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.මේ හේතුවෙන් නිවාස 256කට හානි සිදුව තිබේ. පීඩාවට පත්ව සිටින පිරිසෙන් පවුල් 229කට අයත් පුද්ගලයන් 770ක් ආරක්‍ෂිත ස්ථාන 17ක රඳවා සිටින අතර, වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ, අම්පාර දිස්ත්‍රික්කයෙහිය. එම දිස්ත්‍රික්කයේ පවුල් 2,159කට අයත් පුද්ගලයෝ 7,749ක් පීඩාවට පත්ව සිටිති.

තද සුළං හා තද වැසි හා ජල ගැලීම් නිසා මෙම පිරිස් පීඩාවට පත්ව තිබෙන අතර, බදුල්ල, මොනරාගල, රත්නපුර, කෑගල්ල, ත්‍රිකුණාමලය, නුවරඑළිය,මාතලේ, මඩකලපුව, පුත්තලම, හම්බන්තොට, යාපනය යන දිස්ත්‍රික්කවල ජනතාවගේ පිරිසක්ද පීඩාවට පත්ව තිබේ.

එසේම අද (01දා) දිනයේදී ඌව පළාතේත් මඩකලපුව, පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට යන දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව උතුරු පළාතේ හා අනුරාධපුර, ත්‍රිකුණාමලය, සහ මහනුවර යන දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල හා අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් විටින් විට සුළඟේ වේගය පැ.කි.මී. 30-40 පමණ ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියි.

ඉන්දික හේවාවිතාරණ