8year-cse-police-court

ව්‍යාජ නිලමුද්‍රා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයකුට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය පවරා ඇති නඩුවක් විභාගයට ගැනීමට සූදානම් නොවීම හේතුවෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විත්තිකරු නිදහස් කිරීමට 11දා නියම කළේය.

වසර අටක් තිස්සේ කැඳවූ නඩුවක සාක්ෂි විභාගය සඳහා පොලිසිය නිසි පරිදී සූදානම් වී අධිකරණය ඉදිරියට නොපැමිණීම හේතුවෙන් සැකකරු නිදහස් කරන බව දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා නඩුවට නිසි පරිදි සූදානම් වී වසරක කාලයක් ඇතුළත යළි නඩු පැවරීමේ අයිතිය පොලිසියට ලබාදෙන බව දැනුම් දුන්නේය.



නඩුව විභාගයට ගැනීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය සූදානම් නොවීම හේතුවෙන් මෙලෙස නිදහස් කරන ලද්දේ ජයන්ත රොද්‍රිගු නමැත්තෙකි.

ව්‍යාජ නිලමුද්‍රා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය 2015 පෙබරවාරි මාසයේදී විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.

නඩුව විභාග කිරීම සඳහා කැඳවූ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කරුණු දක්වමින් ‘ස්වාමිනි, තොරතුරු පොත ගේන්න කියලා දැනුම් දීලා තියෙනවා. ඒත් තවම තොරතුරු පොත අරගෙන නිලධාරීන් ඇවිල්ලා නෑ. නඩුව විභාග කිරීමට කෙටි දිනයක් දෙන්න' යනුවෙන් ඉල්ලීමක් කළේය.



ඒ අවස්ථාවේ දී අධිකරණය ඇමතු මහේස්ත්‍රාත්වරයා "මෙය 2015 දාපු නඩුවක්, පැමිණිල්ල තවම පළමුවැනි සාක්ෂිකරුවන් කැඳවා සාක්කි විමසා නැහැ. අද ඇවිල්ලා තොරතුරු පොත නෑ කියලා කියනවා. පොලිසිය මොකද කියන්නේ අද සාක්ෂි කැඳවනව ද? සාක්ෂි කැඳවන්න නැත්නම් මට තව දින දෙන්න බෑ. මම විත්තිකාරයා නිදහස් කරනවා. නඩුවට සුදානම් වුණාට පස්සේ නැවත ගොනු කරන්න"යැයි පැවසීය.

ඉන් අනතුරුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 182 (2) වගන්තිය යටතේ සැකකරු නිදහස් කළ මහේස්ත්‍රාත්වරයා නිසි පරිදි ලේඛන සූදානම් කරගෙන වසරක කාලයක් තුළ විත්තිකරුට එරෙහිය යළි නඩු පැවරීමේ අයිතිය පොලිසියට ඇති බව ද දැනුම් දුන්නේය.


රෝෂන් තුෂාර