කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයකු සෞඛ්‍ය කාර්ය සහායිකාවකට පහරදුන්නැයි චෝදනා කරමින් රෝහලේ සුළු සේවකයෝ පිරිසක් ඊයේ (17) පස්වරුවේ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිරිපිට කලබලකාරී ලෙස හැසිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය.මේ හේතුවෙන් රෝහලට ආ රෝගීහු ද දැඩි අපහසුතාවට පත් වූහ.
පහරකෑමෙන් සෞඛ්‍ය කාර්ය සහායිකාවක ඊයේ (17) සවස ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුලත්ව සිටී.රුපියල් 35,000ක දීමනාවක් ඉල්ලා පෙරේදා (16) කළ වැඩර්ජනයට උරණවී සිටි බව කියන විශේෂඥ වෛද්‍යවරයා මෙම සේවිකාව සේවයේ යෙදී සිටියදී පහරදුන් බව පහරකෑමට ලක්වූ එම සේවිකාව පවසා ඇත. මෙම පහරදීමට හේතුව වෛද්‍යවරයා සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර ඊයේ (17) උදෑසන ඇතිවූ ආරවුලක් දුරදිග යාම බවද අනාවරණයවී තිබේ.
මේ සම්බන්ධයෙන් කරාපිටිය රෝහලේ උසස් නිලධාරියකුගෙන් විමසූවිට කියා සිටියේ පෙරදින පැවැති වැඩ වර්ජනයට පිළිකා වාට්ටුවේ සේවකයන් සහභාගි නොවන බවට තීරණය කර තිබූ අතර ඒ අනුව සේවකයන් මෙම වෛද්‍යවරයා සැත්කම් කරන තෙක් වාට්ටුවේ සිට සැත්කම් අවසන් වූ පසු සියලු දෙනාම පිටව ගොස් ඇති බවය.පසුව ඊයේ උදෑසන සේවකයන් සේවයට වාර්තා කිරීමට පැමිණියත් ඊයේ නොපැමිණි බව පවසා වෛද්‍යවරයා ඔවුනට අත්සන් කිරීමට ඉඩදී නැත. පසුව සේවකයන් රෝහල් අධ්යක්ෂවරයා හමුවීමට ගිය අවස්ථාවේ වෛද්‍යවරයා එතැනටද පැමිණීම නිසා ආරවුලක් ඇති වූ බවත් සේවකයන් වෛද්‍යවරයාට හූ කියමින් විරෝධය පළකර ඇති බවත් එහිදී ඇතිවීමට ගිය ගැටුම පසුව දෙපාර්ශ්වයම සමථයට පත් වූ බවත් එම නිලධාරියා පැවසීය.
මේ අතර ඊයේ සවස යලිත් එම තත්වය ඇතිවූ අවස්ථාවේ වෛද්‍යවරයා සේවකයකුට සහ සේවිකාවකට පහරදුන් බවත් පහර කෑමට ලක්වූ සේවිකාවක වාට්ටුවට ඇතුලත් කළ බවත් සේවකයෝ පැවසූහ.පසුව සියලුම සේවක පිරිස වෛද්‍යවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ. මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය එච්.ඩී.යූ.එම්. රංගා මහතාගෙන් කළ විමසීමකදී පැවැසුවේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු හා සුළු සේවකයන් අතර ගැටලුවක් ඊයේ (17) පෙරවරුවේ ඇති වූ බවත් පසුව දෙපිරිසම කැඳවා එය සමථයට පත් කළ නමුත් එම ගැටලුවම නැවත ඊයේ (17) සවසත් ඇති වී තිබෙන බවත්ය.විශේෂඥ වෛද්‍යවරයාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.
ඩී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා
0 Comments