Bangladesh-The-electio-turned-one-woman-show

බංගලාදේශයේ මහ මැතිවරණය ජනවාරි 7 වැනිදා පැවැත්වන අතර,  ප්‍රතිඵලය දැනටමත් නොවැළැක්විය හැකි බව පෙනේ.
ප්‍රධාන විරුද්ධ පක්ෂ ඡන්ද විමසීම වර්ජනය කිරීම සහ ඔවුන්ගේ නායකයින් බොහෝ දෙනෙකු සිරගත කිරීමත් සමඟ, පාලක අවාමි ලීගය අඛණ්ඩව සිව්වන පාර්ලිමේන්තු වාරයක් සඳහා නැවත තේරී පත්වීමට සූදානම් වේ.

රටෙහි පවතින විරුද්ධ පක්ෂ අතුරින් විශාලතම පක්ෂයක් වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) සහ එහි අනුගාමිකයින් පවසන්නේ අගමැතිනි ෂීක් හසීනා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වනු ඇතැයි තමන්ට විශ්වාසයක් නොමැති බවයි.

ඔවුන් ඇයගෙන් ඉල්ලා සිටියේ මධ්‍යස්ථ අන්තර්වාර රජයක් යටතේ මැතිවරණය පැවැත්වීමට ඉඩ දෙන ලෙසයි. නමුත් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය. එබැවින් ඡන්ද පත්‍රිකාවේ සිටින අපේක්ෂකයින් සියල්ලෝම අවාමි ලීගයෙන් ඉදිරිපත් වූ හෝ එහි මිත්‍ර පාක්ෂිකයින් වන අතර, අනෙක් පිරිස ස්වාධීන අය වෙති.

"බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය මැරිලා. ජනවාරියේ අපි දකින්න යන්නේ ව්‍යාජ මැතිවරණයක්" යැයි BNP හී ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන අබ්දුල් මොයින් ඛාන් පැවසීය. වසර ගණනාවක් පුරාවට,  ෂීක් හසීනා වැඩි වැඩියෙන් අත්තනෝමතික ලෙස වර්ධනය වී ඇති බවට ඔහු චෝදනා කරයි. ඇයගේ පරිපාලන වගකීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව වැඩි යමක් නොකරන්නේ මන්දැයි විචාරකයෝ ප්‍රශ්න කරති.

නමුත් මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී චෝදනා හසීනා ගේ රජය විසින් තරයේ ප්‍රතික්ෂේප කරයි.

"මැතිවරණය තීරණය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජනතාව දක්වන සහභාගීත්වය මතයි. මෙම මැතිවරණයට BNP හැර බොහෝ දේශපාලන පක්ෂ ඉදිරිපත් වී තිබෙනවා," යැයි නීති අමාත්‍ය Anisul Huq පැවසීය.

නමුත් කලක් ලෝකයේ දුප්පත්ම රටක් වූ බහුතර මුස්ලිම් ජාතියක් ජීවත් වන බංගලාදේශය,  2009 වසරේ සිට හසීනා මහත්මියගේ නායකත්වය යටතේ විශ්වසනීය ආර්ථික සාර්ථකත්වයක් අත්කර ගෙන ඇත. රට මේ වන විට අසල්වැසි ඉන්දියාව පවා අභිබවා යමින් කලාපයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් හිමිකරගෙන සිටී. පසුගිය දශකය තුළ එහි ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි වී ඇති අතර , පසුගිය වසර 20 තුළ මිලියන 25කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති බව ලෝක බැංකුව ගණන් බලා ඇත.

රටේම අරමුදල්, ණය සහ සංවර්ධන ආධාර භාවිතා කරමින්, හසීනා මහත්මියගේ රජය ගංගා ගඟ හරහා ප්‍රමුඛතම ඩොලර් බිලියන 2.9 ක පද්ම පාලම ඇතුළු දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති සිදු කර ඇත. පාලම තුළින් පමණක් දළ දේශීය නිෂ්පාදිතය 1.23% කින් වැඩි කිරීමට අපේක්ෂා කෙරේ .

නමුත් COVID වසංගතය හේතුවෙන් බංග්ලාදේශය ඉහළ යන ජීවන වියදම සමඟ පොරබදමින් සිටී. නොවැම්බර් මාසයේදී රටෙහි උද්ධමනය 9.5% පමණ විය.

එහි විදේශ විනිමය සංචිත 2021 අගෝස්තු මාසයේදී වාර්තා වූ ඩොලර් බිලියන 48 (පවුම් බිලියන 38) සිට මේ වන විට ඩොලර් බිලියන 20 දක්වා පහත වැටී ඇති අතර, රටෙහි විදේශ ණය ද 2016 සිට දෙගුණයකින් වැඩි වී තිබේ.



ආර්ථික සාර්ථකත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මානව හිමිකම්වල වියදමින් පැමිණ ඇති බව පවසන විවේචකයෝ , හසීනාගේ පාලනය මගින්,  ඇගේ දේශපාලන විරුද්ධවාදීන්ට, සහ මාධ්‍යයට එරෙහිව මර්දනකාරී ඒකාධිපති ක්‍රියාමාර්ගවලින් සමන්විත වී ඇති බවට චෝදනා කරති.

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස්ගේ "අඛණ්ඩ අධිකරණ හිරිහැර" නවත්වන ලෙස ඉල්ලා සිටිමින් , හිටපු එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා, වර්ජින් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ රිචඩ් බ්‍රැන්සන් සහ U2 ප්‍රධාන ගායක බොනෝ ඇතුළු ගෝලීය පුද්ගලයින් 170 කට අධික සංඛ්‍යාවක් අගෝස්තු මාසයේදී හසීනා මහත්මියට විවෘත ලිපියක් ලිවීය .

මෑත මාසවලදී, ආණ්ඩු විරෝධී විරෝධතාවලින් පසුව දහස් ගණන් ආධාරකරුවන් සමඟ බොහෝ ජ්‍යෙෂ්ඨ BNP නායකයින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන නොමැති BNP හි ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනාගෙන් එක් අයෙකු වන ඛාන් මහතා චෝදනා කරන්නේ, පක්ෂ ආධාරකරුවන් 20,000කට වැඩි ප්‍රමාණයක් "ව්‍යාජ චෝදනා" මත අත්අඩංගුවට ගෙන ඇති අතර, මිලියන සංඛ්‍යාත පක්ෂ ක්‍රියාකාරීන්ට එරෙහිව නඩු පවරා ඇති බවයි. නමුත් රජය මෙය ප්‍රතික්ෂේප කරයි.

කෙසේ වෙතත් සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ,  හසීනා මහත්මියගේ පාලනය යටතේ දී  දේශපාලනික අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතන සහ වෙනත් අපයෝජනයන් ඉහළ යන බවයි.

1980 ගණන්වල ෂීක් හසීනා විසින් ජෙනරාල් හුසේන් මුහම්මද් එර්ෂාඩ්ගේ පාලන සමයේදී , ප්‍රජාතන්ත්‍රවාදය අගයකරමින් වීදි විරෝධතා පැවැත්වීම සඳහා ඇගේ ප්‍රතිවාදියා වූ බෙගම් ඛලීඩා ඇතුළු අනෙකුත් විපක්ෂ නායකයින් සමඟ අත්වැල් බැඳ ගත්තාය.

රටේ නිර්මාතෘවරයෙකු වන ෂීක් මුජිබර් රහ්මාන්ගේ වැඩිමහල් දියණිය වන හසීනා මහත්මිය 1996 දී බහු-පක්ෂ මැතිවරණයකින් බලයට පත් වූවාය. පසුව ඇය 2001 වසරේ පැවති මැතිවරණයෙන් කලීඩා සියා විසින් නායකත්වය දෙන BNP පක්ෂයට පරාජය වූවාය.

රට තුළ මෙම කාන්තාවන් දෙදෙනා හදන්වනු ලබන්නේ "සටන් කරන බෙගම්" ලෙසිනි. බෙගම් යන්නෙන් අදහස් කරන්නේ උසස් නිලයක් දරන මුස්ලිම් කාන්තාවන් යන්නය.



බෙගම් සියා දැන් දූෂන චෝදනා මත නිවාස අඩස්සියේ තබාගෙන සිටින අතර, ඇය සෞඛ්‍ය සංකූලතාවලට මුහුණ දී සිටින බව වාර්ථා වෙයි.  බොහෝ අය තර්ක කරන්නේ මෙය අවාමි ලීගය විසින් හිතාමතාම කර ඇත්තේ මැතිවරණයට පෙර BNP අඩපණ කිරීමට බවයි.

Syed Mia වැනි BNP හි බොහෝ ආධාරකරුවන් පීඩාවලින් බේරීමට සැඟවී ඇත. 28 හැවිරිදි ඔහුගේ අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම සඳහා නාමයන් වෙනස් කර ඇති අතර, දේශපාලන විරෝධතාවයකට සහභාගී වීම හේතුවෙන් සැප්තැම්බර් මාසයේදී මාසයක සිරදඩුවමක් විදීමට ඔහුට සිදු විය. Mia මහතා දැනට ජීවත් වන්නේ ඔහුගේ පක්ෂ සගයන් තිදෙනෙකු සමඟ වනාන්තර ප්‍රදේශයක කූඩාරමක ය. "අපි මාසයකට වැඩි කාලයක් සැඟවී සිටි අතර අපි අපගේ සැඟවුණු ස්ථාන වෙනස් කරමින් සිටිමු. අපට එරෙහිව ඇති සියලුම චෝදනා අසත්‍ය," යැයි Mia මහතා පැවසීය.

නරක අතට හැරෙන මානව හිමිකම් තත්ත්වය ජාත්‍යන්තර ආයතන අතර කනස්සල්ලට හේතු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ආසියා පැසිෆික් ප්‍රධානී Rory Mungoven වර්තමාන තත්වය වැදින්වූයේ ,එකම සිදුවීම සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂ කම්කරුවන් දහස් ගණනක් වටකර ගැනීමේ පුළුල් පදනමක් හෝ විචක්ෂණශීලී ප්‍රවේශයක් ලෙසය.

"මාධ්‍යවේදීන්ට, මානව හිමිකම් ආරක්ෂකයින්ට සහ සිවිල් සමාජ නායකයින්ට පහර දීම සඳහා අධිකරණයට බලපෑම් කරන බවට"  එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් පිරිසක් ද නොවැම්බරයේ අනතුරු ඇඟවීමක් ප්‍රකාශ කළහ.   නමුත් නීති ඇමති වන හක් පවසන්නේ, රජයට උසාවිය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්,  "රට තුළ අධිකරණය සම්පූර්ණයෙන්ම ස්වාධීන" වන බවත්ය.

"යුරෝපීය කොමිසම විසින් බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වය සම්බන්ධයෙන් වගකිව යුතුය. එසේම එය බංග්ලාදේශ නිෂ්පාදන සඳහා ලබා දී ඇති තීරුබදු රහිත ප්‍රවේශය ඉවත් කර ගැනීම සලකා බැලිය යුතුය" යැයි යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රී කැරන් මෙල්චියර් පැවසීය.

චීනයට පසු ලොව දෙවන විශාලතම ඇඟලුම් අපනයනකරු වන්නේ බංග්ලාදේශයයි. පසුගිය වසරේ එය ඩොලර් බිලියන 45 කට වඩා වැඩි වටිනාකමකින් යුත් ඇඳුම් , යුරෝපයට සහ එක්සත් ජනපදයට නැව්ගත කර ඇත.

බොහෝ අය අසන ප්‍රශ්නය නම්, මෙතරම් දැවැන්ත ආර්ථික බලයක් ඇති බටහිර ජාතීන්, ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දමන ෂීක් හසීනාට දඬුවම් නොදෙන්නේ මන්ද යන්නයි.

 බංග්ලාදේශයට එරෙහි ඕනෑම බලහත්කාර ක්‍රියාමාර්ගයකට විරුද්ධ වීමට අසල්වැසි ඉන්දියාව කටයුතු කරයි . එයට හේතුව වන්නේ , දිල්ලියට බංග්ලාදේශය හරහා ඊසානදිග ප්‍රාන්ත හත සඳහා මාර්ග සහ ගංගා ප්‍රවාහන ප්‍රවේශය අවශ්‍යය වීමයි.

2009 දී බලයට පත් වූ විගස හසීනා මහත්මිය දිල්ලියේ ප්‍රසාදය දිනා ගත්තේ , ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශයේ ජනවාර්ගික කැරලිකාර කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියා කිරීමෙන් පසුවය.

මේ කෙසේ වෙතත් දැනට හසීනා මහත්මියට , බලය සඳහා පැහැදිලි මාවතක් ඇති බව පෙනේ. නමුත් ඇගේ අධිකාරිය සම්බන්ධයෙන් අභියෝග ඉක්මනින්ම මතුවිය හැකිය.