Human-Immunogoblin-fake-factory-nabbed

සීදුව අමන්දොළුව ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ ව්‍යාජ ප්‍රතිදේහ විශේෂයක් වූ " ඉමුනොග්ලොබින්
" ( Human Immunogoblin) නිෂ්පාදන කළ අයිසෝලෙස් බයෝටෙක් පර්මා ( Islek Biotech
Pharma ) ආයතනය විශේෂ විමර්ශන කණ්ඩායක් විසින් 01/22 දින දහවල් 12.00 සිට පස්වරු 05.00
දක්වා පරීක්ෂා කිරීමකට ලක් කිරීම සිදු කෙරුණි.

මේ සදහා ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ දීපිකා බුලත්සිංහල මහත්මිය ඇතුළු පිරිසක් ද
, ආහාර හා ඖෂධ විශ්ලේෂක අමිත් පෙරේරා මහතා ඇතුළු පිරිසක් ද , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු
නිලධාරීන් පිරිසක් ද සහභාගී වී තිබූ අතර මෙම අවස්ථාවට සමාගමේ අයිතිකරු සුදත් ජනක ප්‍රනාන්දු
මහතා ද බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කැදවා ගෙන පැමිණ තිබුණි.

මීට පෙර අවස්ථාවක ද මෙම නිෂ්පාදන කර්මාන්තශාලාව පරීක්ෂා කිරීමකට මෙම විමර්ශන කණ්ඩායම
පැමිණ තිබූ අතර , එහිදී මෙම කර්මාන්තශාලාවේ විදුලි බිල ගෙවා නොතිබීම නිසා, විදුලිය විසන්ධි කර
පැවති නිසා මෙම පරීක්ෂණය අද දක්වා කල් ගොස් තිබුණි.

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් මෙම ස්ථානයට පැමිණ තාවකාලිකව විදුලිය සැපයීමෙන්
අනතුරුව මෙම විමර්ශන කටයුතු ආරම්භ විය.

එහිදී මෙම නිෂ්පාදන කර්මාන්තශාලාව තුළ තිබූ රසායනාගාර 03 ක් සහ කාර්යාලය විමර්ශනයට ලක් කර
තිබුණි.

එම විමර්ශනයෙන් අනතුරුව මෙම කර්මාන්තශාලා ප්‍රධාන පරිගණක පද්ධතියට අදාළ මතක ගබඩා 10 ක්
, එහි ආරක්ෂිත කැමරා පද්ධතියට සම්බන්ධ කර තිබූ දත්ත ගබඩාව ( D.V.R.) සහ මෙම
කර්මාන්තශාලාවේ ශීතකරණ තුළ තිබූ , ඔවුන් විසින් නිපදවන ලද ව්‍යාජ යැයි සැක කෙරෙන
"ඉමුනොග්ලොබින් " කුප්පි 10 ක් ද මෙම විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

පසුව මෙම විමර්ශකයින් පිරිස සිය විමර්ශන කටයුතු නිමවා මෙම නිෂ්පාදන සමාගමේ අයිතිකරු ද රැගෙන
01/22 දින පස්වරු 05.00 ට පමණ මෙම කර්මාන්තශාලාවෙන් පිටත්ව ගියහ.

(ටී.කේ.ජී. කපිල/බුද්ධිමාල් රුබේරු)