The-presidential-pardon-given-to-Duminda-Silva-is-invalid-re-imprisonment

 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට අනුගමනය කළ ක්‍රමවේදය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(17) ඒකමතිකව තීරණය කර තිබේ.


ඒ අනුව දුමින්ද සිල්වාට පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇත.



මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය දුමින්ද සිල්වාට ජනාධිපති සමාවදීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම්, විභාග කිරීමෙන් අනතුරුව ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබෙයි.

2011 වසරේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2016 වසරේ දී දුමින්ද සිල්වා තවත් සිව් දෙනෙකු සමග මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබ ජීවිතාන්ත සිදඩුවමට යටත් කරනු ලැබූ නමුත් 2019 මැතිවරණ ජයග්‍රහණයෙන් පසු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුමින්ද සිල්වාට විශේෂ ජනපති සමාවක් ලබාදුන්නේ එම ක්‍රමවේදය සම්බන්ධ ගැටලු මතුකරමිනි.
"ඔහු සැලකිල්ලට ගත් රටේ අවශ්‍යතාවය කුමක්ද?  මූලාශ්‍ර දෙකකින් මෙය අධිකරණයට හෙළි කළ හැකියි.

පළමුව, හිටපු ජනාධිපතිවරයා විසින්ම තම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇති දේ දන්නේ ඔහුම වන බැවිනි. දෙවනුව, හිටපු ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ තබාගොස් ඉතිරි කර ඇති ලියකියවිලි මේවාට සාක්ෂි දරයි“ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කළේය

වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, “මේ ගැන ඉදිරිපත් කරන ලද ලේඛන කිසිවක් නැත. එවැනි ශුන්‍ය හේතුවක් මත මෙම සමාව ලබාදී ඇති බව නීතිපතිවරයා පෙන්වා දී ඇත. එවැනි පදනමක් මූලික හේතුවක් ලෙස පවා හඳුනාගත නොහැකිය. මේ අනුව, හිටපු ජනාධිපතිවරයා විසින් ගන්නා ලද මෙම ස්ථාවරය ඔහු විසින් හෝ මෙම අධිකරණය ඉදිරියේ ඇති වෙනත් ලියකියවිලි වලින් සහාය නොදක්වයි. ඒ නිසා හිටපු ජනාධිපතිවරයා එම සමාව ලබා දීමට තීරණය කරද්දී රටේ යහපත වෙනුවෙන් කටයුතු කළ බවක් පිළිගන්න බැහැ.


සමාව ලබාදීමට තීරණය කිරීමේදී හිටපු ජනාධිපතිවරයා නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නැත.

 නීතියෙන් සලකා බැලිය යුතු දේ ගැන හිටපු ජනාධිපතිවරයා කිසිසේත්ම සලකා බලා නැත. ඉහත තීන්දුව අත්තනෝමතික, අතාර්කික බවත්, ලිඛිත තීරණයක් පවා ගෙන නැති බව පෙනෙන්නකි.

එබැවින් ඔවුන්ගේ පෙත්සම් සාර්ථක කර ගැනීමට පෙත්සම්කරුවන්ට අයිතියක් ඇත.” ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නඩුව අවසන් කරමින් කියා තිබේ.