air-lanka-socities

ගුවන් සේවා කටයුතු කඩාකප්පල් කිරීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු එහි නිලතල දැරූ නායකයන් 28 දෙනකු අනිවාර්ය නිවාඩු යැවූ බව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා පැවසීය.ගුවන් ගමන් සේවාවන් අවහිර කර කඩාකප්පල් කිරීමේ අරමුණින් ගුවන් යානා සමාගම් වෙත ලිපි යැවීම සහ ජනමාධ්‍ය මගින් ඒවා ප්‍රසිද්ධ කළැයි කියන සිද්ධියක් මත

එම පිරිස් මෙසේ අනිවාර්ය නිවාඩු යවා ඇත.

ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන සියලුම ගුවන් සේවා අවහිර සහ කඩාකප්පල් කිරීමේ අරමුණෙන් මෙම වෘත්තීය සමිතියේ ලේකම්වරයා ලිපි යවා ඇති බව එම අනිවාර්ය නිවාඩු ගැන්වීමේ ලිපිවල සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා සඳහන් කර ඇත.එවැනි පියවරක් ගැනීමට මොවුන්ට නීත්‍යානුකූල සහ සදාචාරාත්මක අයිතියක් නොමැති බව සඳහන් කරන සභාපතිවරයා, මෙම විෂමාචාර කටයුත්ත පිළිබඳව බලපෑම් වලින් තොර විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වහාම බලපැවැත්වෙන පරිදි මේ පිරිස අනිවාර්ය නිවාඩු යැවූ බව සභාපතිවරයා කීය.

එසේම මෙම වෘත්තීය සමිති නායකයන් සතු ගුවන් තොටුපොළට ඇතුළුවීමේ අවසර පත් සහ ඔවුන් සේවය සඳහා භාවිත කළ

සියලු උපකරණ දෙපාර්තමේන්තු ප්‍රධානිට බාර දීමට ද දැනුම් දී ඇත. එමෙන්ම මෙම පරීක්ෂණ අවසන් වන තෙක් සීමා සහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ කිසිදු පරිශ්‍රයක් වෙත ඇතුළුවීම ද මොවුන්ට තහනම් කර ඇතැයි පැවසේ. මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා පැවසුවේ, මෙම වෘත්තීය සමිතියට කටුනායක  ගුවන් තොටුපොළ ඇතුළු සියලුම ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල සහ  පිදුරුතලාගල  රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයන් සම්බන්ධ වී සිටින බවයි.


 ටී.කේ.ජී. කපිල