akila-oshada-bandara-speaks

මේ දිනවල ඇතැම් ආගමික නායකයන් මූලික කර ගනිමින් සිය දිවි නසාගැනීම් සම්බන්ධව විවිධ පුවත් කතාබහට ලක්වෙනවා. එම නිසාම ආගම සිය දිවි නසාගැනීමට සාධකයක් වනවාද, සිය දිවි නසාගැනීමට බලපාන මනෝ මූලික සාධක සහ ඉන් මිදීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු විමසීම සඳහා, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ, මනෝ චිකිත්සක, වෘත්තීය මාර්ගෝපදේශක, අකිල ඖෂධ බණ්ඩාර මහතාව සම්බන්ධ කර ගත්තෙමු. එතුමා දැක්වූ අදහස් මෙසේයි.

සිය දිවි නසා ගැනීම මේ වන විට කතාබහට ලක්වන බොහෝ ජනප්‍රිය මාතෘකාවක්, සිය දිවි නසා ගැනීම සම්බන්ධව අද වන විට තිබෙන දත්ත අනුව පිළිගෙන තිබෙනවා විවිධ මානසික සාධකයන් ,

සාමාජික සාධක වගේම කායික සාධකත් මේ සදහා බලපාන බව. සිය දිවි නසා ගැනීම හැසිරීමක් වශයෙන් අපට මූලිකවම දක්වන්න  පුළුවන්. එයට කලින් සඳහන් කළ කායික, මානසික, සමාජීය යන විවිධ හේතු කාරණාවන් සහ ඇතැම් විට ආර්ථික සාධක, සංස්කෘතික සාධක වැනි දෑත් බලපාන්න පුළුවන්, එම නිසා සිය දිවි නසා ගැනීම හැසිරීමක් ලෙස පෙන්වා දිය හැකියි.

සිය දිවි නසා ගැනීම මේ යුගයේදී පමණක් කතාබහට ලක්වන කාරණයක් නොවෙයි. ඒ පිළිබඳව විවිධ යුගවලදී කතාබහට ලක්වී තිඛෙනවා. විශේෂයෙන්ම ග්‍රීසියේ සහ රෝමයේ සිය දිවි නසා ගැනීම සම්බන්ධ කාරණාව විවිධ වාද විවාදයන්ට පවා ලක්වී තිබෙනවා .  මෙලෙස සිය දිවි නසා ගැනීමක් මනුස්සයෙකුට සිදුකරන්න පුළුවන්ද කියන කාරණය සම්බන්ධව සහ එය කෙතරම්දුරට සාධාරණද කියන කාරණය සොයාබැලීම වඩාත් වැදගත්. මේ පිළිබඳව දාර්ශනිකයන් අතරද විවිධ කතාබහට ලක් වී තිබෙනවා.

වර්තමානය සමාජයේ මේ වන විට අහන්නට දකින්නට ලැබෙන කාරණා සමග ඇතැම් විට අපේ සමාජයේ සිය දිවි නසා ගැනීම සම්බන්ධව  තිබෙන මතවාද පිළිබඳව කතාබහ  කිරීමේදී ආගම් සම්බන්ධ කරමින් කතා කිරීම අපහසුයි.

නමුත් ආගම් සම්බන්ධ කර ගනිමින් සිය දිවි නසා ගැනීම් සිදුවනවා. සියලුම ආගම් පිළිගෙන තිබෙනවා මනුස්සයෙකුගේ ජීවත් වීම ඉතාම වැදගත් බව. ඊට අමතරව බොහෝ පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා සිය දිවි නසාගන්නා අය අතර ආගමික නැඹුරුවක් සහිත පවුල්වල, සමාජයන් තුළ, රටවල්වල සියදිවි නසා ගැනීම සම්බන්ධව අඩු සම්භාවිතාවක් තිබෙන බව, එම නිසා ආගම කියන සාධකය සිය දිවි නසා ගැනීමට හේතුවක් ලෙස කතා කළ නොහැකියි. ඊට හේතුව පර්යේෂණවලින් සොයාගෙන තිඛෙන ආකාරයට යම් ආගමකට, දර්ශනයකට නැඹුරු වූ පුද්ගලයන් සිය දිවි නසාගන්නා ප්‍රමාණය ඉතාමත් අඩු ප්‍රවණතාවයක පවතී. දහනව වන සියවසෙන් පසු මනෝ වෛද්‍යවරු, විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන්  කර ඇති පර්යේෂණවලද මේ බව ඔප්පු වනවා. සිය දිවි නසා ගැනීමේ හැසිරීම සදහා ආගමික සාධකයක් මුල් කර ගනිමින් සිදුවන්නේ මාෆියාවක් බවයි මූලිකවම සදහන් කළ යුත්තේ නූතනයේදී ප්‍රජාව අතර තිබෙන මානසික හා කායික හේතූන් මත සෞඛ්‍ය ගැටලුවක් බවටත් මෙය පත්වී තිබෙනවා.

සිය දිවි නසාගැනීම කියන මාතෘකාව තුළ සමාජ, ආර්ථික, දේශපාලන,සමාජ අර්බුදයන් හමුවේ අමාරු කාලවලදී බොහෝ අවදානම් සාධක තිබිය හැකියි. එහිදී සිය දිවි නසාගැනීම සම්බන්ධව ඇතැම් විට මතුපිට පෙනුමින් එසේත් නොමැති නම් ප්‍රවෘත්තියක් ඇසීමෙන් සෘජුවම සිතන දෙයක් තමයි ප්‍රවෘත්තියේ එකේ පළකරන දේම සත්‍ය බව, එහිදී සත්‍ය වශයෙන්ම ආගමික කාරණයක් පදනම්වයි සිය දිවි නසාගෙන තිඛෙන්නේ කියන කාරණය විශ්වාස කරගෙන සිටිනවා.

නමුත් මේ සදහා අවදානම් සාධක තිබෙන්නට පුළුවන්. ඒ පිළිබඳව අවබෝධයකින් සහ දැනුම්වත්භාවයකින් සිටීම තුළ සිය දිවි නසාගැනීමට වැඩි අවදානමක් ඇති අය සම්බන්ධව අවධානයෙන් සිටිය හැකියි. එවිට සිය දිවි නසාගැනීමට සිටින පුද්ගලයෙක් එයින් වළක්වා ගැනීමටද හැකියාවක් තිබෙනවා. එයට සමාජ දැනුවත්භාවය  එසේත් නොමැති නම් පුද්ගල දැනුවත්භාවය  තිබිය යුතුයි.

සත්‍ය වශයෙන්ම මනුෂ්‍යයෙකුට සිය දිවි නසාගැනීමට හැකිද කියන සාධකය විමසා බැලීමේදී මූලිකම කාරණය වන්නේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිරිහීම කියන කාරණයයි. මානසික අවපීඩනය, විශාදය, හීන්නෝන්මාදය වැනි උගු මානසික රෝගවල හැසිරීමක් වශයෙන්, එසේත් නොමැතිනම් කායික වශයෙන් රසායනික වෙනස්වීම් තුළ සිදුවන බලපෑමක් වශයෙන් සිය දිවි නසා ගැනීමකට යොමු විය හැකියි. ඒ වගේම බයිපෝලා අක්‍රමිකතාව,සීමා රේඛීය පෞරුෂ ආබාධ වැනි දෑ මානසික වශයෙන් බලපාත බව කිව යුතුයි. මේ නිසා සාමාන්‍ය පුද්ගලයෙකුගේ ශරීරය තුළ ඇතිවන රසායනික වෙනස්කම් මත සහ මොළයට කරන බලපෑම් මත කෙනෙකු සිය දිවි නසාගැනීමේ චර්යාවට යොමු වන ප්‍රවණතාවක් දකින්නට තිබෙනවා. මෙහිදී දක්නට ලැබෙන තවත් කාරණයක් වන්නේ මනුස්සයෙකුට තිබෙන ඇබ්බැහි වීම තුළ මත්ද්‍රව්‍ය, මත් වතුර, වෙත යම් විෂ රසායනිකයන්වලට මිනිසුන් ඇබ්බැහි වී සිටීමද ඇතුළත් වෙනවා. ඒවා සදහා ඇබ්බැහි වීම මත ඇතිවන මානසික තත්ත්වයන් තුළද පුද්ගලයන් සියදිවි නසා ගැනීමකට යොමු විය හැකියි.

සිය දිවි නසාගැනීමට උත්සාහ කිරීමම බරපතළ කාරණයක්, පුද්ගලයෙකුට ජීවිතයේ එන ගැටලුත් සමග ජීවිතයෙන් පලා යන්නට උත්සාහ දැරීමට සිතෙනවා නම් එයත් සිය දිවි නසාගැනීමකට හේතුවක් විය හැකියි. ලෝකයේ වර්ෂයකට ලක්ෂ හතක් අටක් අතර ප්‍රමාණයක් සිය දිවි නසාගැනීම් වාර්තා වෙනවා. ඒ වගේම සිය දිවි නසාගැනීමට උත්සාහ කිරීම් ඊටත් වඩා දෙගුණයක් තුන් ගුණයක් පමණ වෙනවා. එවැනි අවස්ථාවල එම පුද්ගලයන් පිළිබදව පරික්ෂාකාරී වීම තුළ සිය දිවි නසාගැනීම අවම කර ගැනීමට හැකියාවක් තිබෙනවා. බොහෝ විට දිවි නසා ගැනීම් පිළිබඳව සදහන් වන මාධ්‍ය වාර්තා නැරඹීමෙන් සහ කියවීමෙන්ද යම්කිසි උග්‍ර ගැටලුවකින් පෙළෙන පුද්ගලයන්ට අභිප්‍රේරණයක්, පෙලඹවීමක් ඇති විය හැකියි. ඔහුටද තිබෙන එකම විසදුම සිය දිවි නසාගැනීම බවට සිතෙන්නට පුළුවන්, මේ හේතුත් සිය දිවි නසාගැනීම සම්බන්ධව බලපානු ලබනවා. ඊට අමතරව ගැටලුවක් ඇති පුද්ගලයන්ව සමාජයෙන් ගණන් නොගැනීම,

ඇහුම්කන් නොදීම තුළින්ද සිය දිවි නසාගැනීම් උග්‍ර වීම සිදුවෙනවා. මේ වන විට තිබෙන කාර්යබහුල සමාජ පරිසරයත් සමග බොහෝ පිරිසක් පීඩාවෙන් සිටිනවා. එම නිසා මනුෂ්‍යයෙකුට තවත් මනුෂ්‍යයෙකුගේ දුකක් අභගෙන සිටීමට පවා වෙලාවක් නොමැති වී තිබෙනවා. සමාජයේ තවත් කෙනෙකුට ඇහුම්කන් දෙන පිරිස වැඩි වී තිබීම හේතුවෙනුත් සිය දිවි නසාගැනීම් වැඩි වී තිබෙනවා.

සමාජ හුදකලාභාවය තුළද බොහෝදුරට මිනිසුන් සමග සම්බන්ධතා නොමැති වීම හේතුවෙන්, තමන්ගේ ගැටලුවක් හරි හැටි විග්‍රහ කිරීමට නොහැකිව, තමන්ගේ ප්‍රශ්නයේ පරිමාණය කොපමණද යන්න වටහා ගැනීමට නොහැකිව බොහෝවිට පුද්ගලයන්ට සිය දිවි නසාගැනීමට සිතෙන්නට පුළුවන්. එම නිසා සමාජහුදකලාභාවයෙන් මිදී ඔබගේ විශ්වාසවන්ත හිතවතෙකුට හෝ වෘත්තීය මනෝ වෛද්‍යවරයෙකුට තමගේ ගැටලුව පැවසීම තුළ මානසික සහනයක් සලසාගත හැකියි. ඒ වගේම දැඩි ආවේගශීලීත්වය සහ ආක්‍රමණශීලීත්වය සිය දිවි නසාගැනීම්වලට හේතු කාරණා වෙනවා. අපගේ තිබෙන ආවේගයත් බොහෝ විට තමන්ගෙන් හෝ තවත් පුද්ගලයෙකුගෙන් පිට කරනවා. එහිදී පළිගැනීමේ චේතනාව මූලික වෙනවා. එය විවිධ ආකාරයන් යටතේ සමාජයේ මේ වන විට දැකගත හැකියි. බොහෝ විට තමන්ගේ ජීවිතයට හානි කර ගැනීමට අමතරව තවත් කෙනෙකුගේ ජීවිතයට හානි කිරීමත් දක්නට ලැබෙනවා. තමන්ට ගැටලුවක් තිබෙනවා නම් එය නිරාකරණය කිරීමට විසදුම් සොයනවා වෙනුවට ජීවිතයෙන් පලා යෑම හෝ තව කෙනෙකුගේ ජීවිතය නැති කිරීම නොකළ යුතුයි. .

ඇතැම් විට නිධන්ගත රෝගයක් වැලදී තිබෙනවා නම් (දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි රෝගී තත්ත්වයක්) ඊට ප්‍රතිකාර ලැබීමේදී ඇතිවන අපහසුතා මත ඒ රෝගය පිළිබඳව සිතාම සිය දිවි නසාගැනීමට පෙලඹිය හැකියි. මෙවැනි බොහෝ හේතු කාරණා මත සිය දිවි නසාගැනීම්වලට පෙලඹීමේ අවස්ථා තිබෙනවා. මේ සියලුම කාරණයන්ගේ අවසාන ප්‍රතිඵලය වන්නේ ආතතියෙන් පෙළීම කියන කාරණයයි. දිගුකාලීනව ආතතිය පැවතීම මගින් මිනිසෙකු සිය දිවි නසා ගැනීමට පෙලඹිය හැකියි.


සිය දිවි නසාගැනීමට සිතෙන කෙනෙකු නම් ඉන් මිදීමට කළ යුත්තේ කුමක්ද?

පුද්ගලයෙකු යහපත් සහ සෞඛ්‍ය සම්පන්න සමාජ සබදතා පැවැත්වීම තුළින් සිය දිවි නසාගැනීමේ සිතුවිලි සහ ඒ සදහා රුකුල් දෙන කාරණාවත් පැමිණීමේ ප්‍රමාණය ඉතාම අඩුයි. එම නිසා සමාජ සම්බන්ධතා කෙරෙහි දැඩි අවධානයක් ලබාදිය යුතුයි. ඊට අමතරව අපි අත් අය කෙරෙහි තිබෙන වගකීම ඉතාම වැදගත් වෙනවා, බොහෝ විට පුද්ගලයන් සිතන්නේ තමන්ගේ ජීවිතය අයිති තමන්ට බව. තමන් සිය දිවි නසාගත් පසු සියල්ල හරි බව සිතනවා. නමුත් අපේ ජීවිත අපට පමණක් නොවෙයි අයිති. අපිට අදාළ සියල්ලන්ටම අප පිළිබඳව අයිතියක් සහ වගකීමක් තියෙනවා. ඒ බව දැනගෙන ක්‍රියා කිරීම වඩාත් වැදගත්.


ආගමික පසුබිම් තුළ සිය දිවි නසාගැනීම පිළිබඳව දරන මතය

ලෝකයේ පවතින්නා වූ සෑම ආගමකම පාහේ සිය දිවි නසාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ආගමානුකූලව ගත් විට එය පවක් බව සදහන්කර තිබෙනවා. සිය දිවි නසාගැනීම සදහා ආගමික වශයෙන් අභිප්‍රේරණයක් ඇතිකර නැහැ. ආගම තුළ සදාචාරාත්මක කාරණා බොහොමයක් ගැබ් වී තිබෙන බැවින්, මිනිසුන්ගේ ජීවිත පිළිවෙළට සහ සාර්ථකව ඉදිරියට ගෙන යෑමක් සිදුවෙනවා.




නමුත් සිය දිවි නසාගැනීම කියන කාරණයේදී ආගම හේතුවක් නොවන බව වර්තමාන සිද්ධීන් අධ්‍යයනයේදී අතහැර දැමීමද නොහැකියි. මිනිසුන් ඔවුන්ට දැනෙන හැගෙන ආකාරයට ආගම් මාරු කිරීම, ඇදහීම සිදුවෙනවා. එහිදී විශේෂිත කාරණය වන්නේ නිරාගාමිකව ජීවත් වන පුද්ගලයෙකුට සාපේක්ෂව ආගමික පසුබිමක් තුළ කිසියම් දර්ශනයක් හදාරමින් ඒ තුළ ජීවත්වන පුද්ගලයෙක් සිය දිවි නසා ගැනීමේ ප්‍රවණතාව බොහොම අඩුයි. මරණයෙන් මතු ජීවිතයක් පිළිබදව විශ්වාස කර ඇතැම් වෙලාවට මිනිසුන් සිය දිවි නසාගන්නා බවට කටකතාවක් තිබෙනවා. නමුත් එය කටකතාවක් පමණයි. මරණෙත් මතු ජීවිතයක් පිළිබඳව සිතමින් එම ජීවිතය සැපවත් කරගැනිමේ අපේක්ෂාවෙන් තමන්ගේ ජීවිතයට හානි කරගැනීම අනුවන ක්‍රියාවක්. ආගම සිය දිවි නසාගැනීමට අභිප්‍රේරණයක් ඇතිකරන සාධකයක් නොවන බව කිව යුතුයි.

ආගම තුළින් මානසික අවපීඩනය පෙළෙන්නන් හට උපදෙස් ලබාදෙන්නේත් භාවනාවේ යෙදෙන්න, සතිමත්භාවය ඇතිකර ගැනීමට ආධ්‍යාත්මික ගුණ වගාවක් ඇතිකර ගැනීමට කියා දෙනවා. එලෙස කියාදෙන ආගම්වලින් මනුස්සයෙක් සිය දිවි නසාගැනීම දක්වා ගෙන යනවා කියන කාරණය ඉතාම වැරදි කාරණයක්. ඍණාත්මක ජීවිතයකින් මිනිසෙක්ව ධනාත්මක කිරීමේ හැකියාවක් ආගම් තුළ පවතිනවා. සිය දිවි නසාගැනීමට සිතෙනවා නම් තමන්ට පහළවෙන්නා වූ ආවේගය පාලනය කර ගැනීම,විද දරාගැනීම ශක්තිමත් කරගැනීම තුළින්න් සිය  දිවි නසාගැනීමට සිතෙන චේතනාව මගහරවාගත හැකියි. මේ සියලු කාරණා සමග අපට හැකි නම් වෘත්තීය මට්ටමේ මනෝ වෛද්‍යවරුන්ගේ සහයෝගය ලබාගැනීමට එය වඩාත් යහපත් වෙනවා.

පියුමිකා වීරසූරිය