ambalangoda-fish-businessman-murder

අම්බලන්ගොඩ ප්‍රකට මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට පැමිණි යුද හමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනෙකු ඊයේ ( (18දා) දහවල් අම්බලන්ගොඩ නගර මධ්‍යයේදී මි.මි.9 රිවොල්වරයක් සහ උණ්ඩ 14ක් සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු සමත් වූහ.

28 හැවිරිදි සැකකාර යුද හමුදා සෙබළා පන්නිපිටියේ පදිංචිකරුවකු වන අතර. 38 හැවිරිදි අනෙක් සැකකරු බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරුවන් පැමිණි යතුරුපැදියද මේ සමගම අත්අඩංගුවට ගෙන තිබේ.



දැනට විදේශගතව සිටින අහුන්ගල්ලේ හා බලපිටියේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් දෙදෙනෙකු  විසින් දෙනු ලබන කොන්ත්‍රාත්තුවකට මේ සැකකරුවන් මාළු ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට පැමිණ ඇති බව පොලීසිය කියයි. සැකකරු සිය බිරිදගේ ඝාතනය සම්බන්ධයෙන්  අධිකරණයේ විභාගවෙමින් පවතින නඩුවක චූදිතයකු බවද පොලීසිය කියයි.

කොළඹ දෙස සිට පැමිණ ඇති මේ සැකකරුවන් දෙදෙනා තමන්ට ලබාදුන් කොන්ත්‍රාත්තුව අනුව ඝාතනය කිරීමට අපේක්ෂා කළ මාළු ව්‍යාපාරිකයාගේ ඡායාරූපයත් රැගෙන ඔහු ගැවසෙන අම්බලන්ගොඩ ධීවර වරායට පැමිණ ඇත. නගරයේ වෙසෙන පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගෙන් මිදී ඔහුට වෙඩි තබා පලා යාම අපහසු බව තේරුම් ගෙන ආපසු යෑමට පැමිණීමේදී

සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කොට තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ටද නගරයට පැමිණි මේ ආගන්තුකයන් දෙදෙනා ගැන තොරතුරු ලැබී තිබී ඇති අතර, ඔවුන් ද මේ දෙදෙනා ගැන පරීක්ෂාවෙන් සිටි නිසා සැකකරුවන් දෙදෙනා ගිනිඅවි හා උණ්ඩ සමග අත්අඩංගුවට ගැනීමේ හැකියාව ලැබී ඇත.

මේ සැකකරුවන් දෙදෙනා, ගිනිඅවිය, පතුරම් සහ යතුරුපැදිය වැඩිදුර පරීක්ෂණ සදහා අම්බලන්ගොඩ පොලීසියට භාරදී තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය සහ අම්බලන්ගොඩ පොලීසිය එක්ව මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වති.

කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත