anne-sri-lanka

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 75ක් පිරීම නිමිත්තෙන් ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට හෙට (10) පැමිණීමට නියමිතය.ලබන 12 වැනිදා තෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඈත් කුමරිය කොළඹදී, මහනුවරදී සහ යාපනයේදී දේශීය ප්‍රජාව සහ කණ්ඩායම් මුණ ගැසීමට නියමිතය.

ඇයගේ සංචාරයේදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී දෙරටේ ද්වීපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද බකිංහැම් මාලිගය නිවේදනය කර තිබේ.

තුන්වැනි චාල්ස් රජුගේ එකම සොහොයුරිය වන ඈන් කුමරිය මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේ මීට වසර 30 කට පෙර එනම් 1995 වසරේදීය. චාල්ස් රජුට දෙන සහයෝගය හේතුවෙන් 73 හැවිරිදි ඈන් කුමරිය චාල්ස් රජුගේ දකුණු අත ලෙස හඳුන්වයි. ඈන් කුමරිය ඉතාමත් ඕනෑකමින් තම රාජකාරිය ඉටු කරන්නියක ලෙසද ප්‍රකටය. ඈන් කුමරියගේ ශ්‍රී ලංකා සංචාරය 2024 වසරේ රාජකීය පවුලේ සාමාජිකයකු සිදුකරන ප්‍රථම විදෙස් සංචාරයවීමද විශේෂයකි.රාජකීය යුවළගේ ආරක්ෂාව වෙනුවෙන් එරටින් විශේෂ ආරක්ෂක නිලධාරීහු කණ්ඩායම් කීපයක්ම දිවයිනට පැමිණ සිටිති.

විමුක්ති එස්. රුද්‍රිගු