anuradapura-incident

ප්‍රසිද්ධ ගුරුවරයෙකු ගණිත ගැටලු පහසුවෙන් විසඳීම සඳහා සම්මන්ත්‍රණයක් පවත්වන බවට පළ කෙරුණු දැන්වීමක් අනුව කල්තියා, මුදල් ගිණුම් ගත කර අනුරාධපුරයට දිවයිනේ නන්දෙසින් පැමිණි දහස් සංඛ්‍යාත සිසු දරු දැරියෝ සහ මවුපියෝ පිරිසක් එවැනි සම්මන්ත්‍රණයක් නොමැති බව දැන ගැනීමෙන් ඊයේ (28) දැඩි දුෂ්කරතාවලට පත්වූහ.

මවුපියන් සම්මන්ත්‍රණය පැවැත්වෙන බව සඳහන් වූ හෝටලයේ සේවකයන්ගෙන් ඒ ගැන විමසූ අවස්ථාවේ දී එම සේවකයන් පවසා ඇත්තේ එවැන්නක් සඳහා තම හෝටලය වෙන් කරවා ගෙන නැති බවයි.ප්‍රධාන රූපවාහිනී නාලිකාවක පළ කළ දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ වෙමින්, බැංකු ගිණුමකට දහස් ගණනින් මුදල් තැන්පත් කර ඊයේ (28) අනුරාධපුර සුවිසල් සුවිසල් හෝටලයට පැමිණීමෙන් අනතුරුව එම හෝටලයේ ඊයේ (28) මංගල උත්සවයක් පැවැත්වෙන බව දැන ගැනීමෙන් මව්පියෝ සහ සිසු සිසුවියෝ දැඩි කනස්සල්ලට පත්වූහ.



එම ගණිත සම්මන්ත්‍රණයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙන්ම මාතර,අම්පාර ඇතුළු දිවයිනේ දුර බැහැර ප්‍රදේශවලින්ද මව්පියෝ සහ දරුවෝ විශාල පිරිසක් පැමිණ සිටියහ.අම්පාර, මාතර වැනි ප්‍රදේශවලින් සිසුන් කණ්ඩායම් වශයෙන් මවුපියන්, රථවාහන කුලියට ගෙන පෙර දිනයේ (27) පැමිණ අනුරාධපුර නගරයේ හෝටල් කාමර වෙන් කරවාගෙන නැවතී සිට මෙම වැඩ සටහනට පැමිණි බව කියති.සුප්‍රසිද්ධ ගණිත ගුරුවරයකු වන එම ගණිත දේශකයා මෙම දේශනය සඳහා ඉංග්‍රීසි මාධ්‍ය සඳහා රුපියල් 50,000ක මුදලක් සිංහල මාධ්‍ය සඳහා 13,500ක මුදලක් අය කරන බවත් බැංකු ගිණුම් හරහා පෙර ගෙවීමක් කරන අයට ගාස්තු මුදල් අඩුවන බවත් සඳහන් කරමින් කලින් මුදල් බැංකු ගත කරවා ගත් බවත් මවුපියෝ පැවසූහ.

එම දේශකයා හෝ සංවිධායක මණ්ඩලයේ කිසිවකු ඊයේ (28) උදේ එම ස්ථානයට නොපැමිණීමත් දී තිබූ දුරකතන අංකයට ප්‍රතිචාර නොදැක්වීමත් හේතුවෙන් මවුපියෝ මෙලෙස නොසන්සුන්කාරී තත්වයකට පත්වූහ.ද

ේශනය පැවැත්වීම සඳහා නම් කරන ලද දේශන ශාලාවද ඊයේ (28) වෙන් කර නොතිබීම හේතුවෙන් මෙම දේශකයාගේ ක්‍රියාව පිළිබඳව අවිශ්වාසයක් පවතින බවද එම මවුපියෝ පෙන්වාදෙති. එම ගුරුවරයා නොදැනුවත්ව කාර්ය මණ්ඩලයේ සිටින සංවිධානාත්මක පිරිසක් මෙලෙස මුදල් ලබාගෙන මවුපියන් හට මුදල් වංචා කළ බවට ඇතැම් මව්පියෝ සැක පළ කරති.

ප්‍රධාන මාධ්‍ය නාලිකාවක් ඔස්සේ ද මෙම දේශකයා වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු සිදුවූ බැවින් ගුරුවරයා පිළිබඳව කිසිදු අවිශ්වාසයක් තමන්ට නොතිබූ බවත් ඒ හේතුවෙන් අත්තිකාරම් මුදල් ගිණුම්ගත කිරීමට තමන් කටයුතු කළ බවත් පවසන එම මව්පියෝ මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් කරන බවද ප්‍රකාශ කළහ.
  බී.ජී. චතුරංග