asgiri-thera-speaks

මේ රටේ බොහෝ මැරයන් සහ අකටයුතුකම් කරන්නන් බිහිවී ඇත්තේ දේශපාලනඥයන්ගේ ආශිර්වාදය යටතේ බවත් එය ප්‍රසිද්ධ කාරණාවක් බවත් වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමියෝ පැවැසූහ.මීට බොහෝ කලකට පෙර මෙරට සිටි ජනතාවට අවවාදයක් අනුශාසනාවක් කළ විට එයට ඇහුම්කන් දෙන පිරිසක් සිටියත් වර්තමානයේ කුමන ආකාරයේ අනුශාසනාවක් සිදු කළත් ඊට ඇහුම්කන් නොදෙන ජනතාවක් ජාතියක් මෙරට තුළ බිහි වී ඇති බවද මහා නා හිමියෝ පැවසූහ.



අස්ගිරි මහානාහිමියන් විහාරාධිපතිත්වය දරන මහනුවර පොල්ගොල්ල බෝධිමල්කඩ විහාරස්ථානයේ ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසලේ වාර්ෂික ත්‍යාග සහතික ප්‍රදානෝත්සවය සහ දහම් පාසල් දරුවන් 250 දෙනකුට

පාසල් පොත් සහ උපකරණ බෙදාදීමේ උත්සවයට සහභාගි වෙමින් අස්ගිරි මහනාහිමියන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අද රටේ උද්ගතව තිබෙන මෙම ඛේදජනක තත්ත්වයට දේශපාලනඥයන් සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

භික්ෂූන් වහන්සේලා අවවාදයක් අනුශාසනාවක් සිදුකළ විට එම භික්ෂූන් වහන්සේලා නිර්දය ලෙස විවේචනය කරමින් නිගාවට පත් කරන වකවානුවක් රට තුළ උද්ගතව ඇති බවත් එම තත්ත්වයට මෙරට දේශපාලකයන් සම්පූර්ණයෙන් වගකිව යුතු බවද අස්ගිරි මහනාහිමියෝ පැවසූහ.

මෙරට අනාගත පැවැත්ම සම්බන්ධයෙන් කිසිසේත් සතුටු විය හැකි තත්ත්වයක නොමැති බවත් අද වන විට පාසල් යන දූ දරුවන් බහුතරයක් බඩගින්නේ පාසල් වලට ගොස් ක්ලාන්තය සෑදී වැටෙන තත්ත්වයකට පත් වී ඇති බවද මහා නායක හිමියෝ අවධාරණය කළහ.



රටේ ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න පිළිබඳව කිසිවිටකත් සතුටු විය හැකි තත්ත්වයක නොමැති බවද මහ නායක හිමියෝ පැවසුහ. මේ කාලවකවානුව බුදුවරුන් බෝධිසත්වවරුන් පහළ වන වකවානුවක් බවත් එවැනි අය පහළ වන්නේ ඡන්ද කාලය නිසා දැයි සැකයක් පවතින බවත් මෙවැනි විපත්තීන්ගෙන් ජනතාව බේරා ගැනීමට මහා සංඝරත්නයට විශාල වගකීමක් ඇති බවද මහ නාහිමියෝ වැඩිදුරටත් අවධාරණය කළහ.

අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන හිමියන් සහ මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සහ වත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.