අවලෝකේතීශ්වර බෝධිසත්වයන් වහන්සේ බවට හදුන්වාගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන විකෘති දේශනා කළැයි කියන මහින්ද කොඩිතුවක්කු නමැත්තාට රටින් පිටවීම තහනම් කළ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඔහුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට රහස් පොලිසියට ඊයේ (12) අවසර දුන්නේය.
සැකකරු පටු ආර්ථික ලාභ ප්‍රයෝජන උදෙසා දේශනා පවත්වන්නකු, ව්‍යාපාරිකයකු, රංගන ශිල්පීයකු, ළමා අපචාර කළ සැකකරුවකු බව කියමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම් කළේය.
නීතීපතිවරයාගේ ඉල්ලීම පිළිගනිමින් මෙලෙස විදේශ ගමන් තහනම් කරන ලද්දේ කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නමැත්තාගේය.
බලන්ගොඩ කාශ්‍යප හිමියන් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක්ද ඉදිරිපත් කෙරිණි.
පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් කිසියම් ආගමක් ඇදහීම - දේශනා පැවැත්වීම හෝ ධර්මය ප්‍රචාරය කිරීමට මෙරට ව්‍යවස්ථාවෙන් බාධාවක් නොමැති වුවත් මෙවන් ආකාරයේ අපහාසාත්මක දේශනා කරමින් මිනිස්සුන්ගේ හිත් විකෘති කරමින් මන්ද මානසිකව කටයුතු කරන පුද්ගලයන්ට සමාජය ව්‍යසනයට ලක් කිරීමට ඉඩ ලබාදීම, නීතිය උල්ලංඝනය කිරීමක් බව පැවසීය.
අවලෝකේතීශ්වර බෝධිසත්වයන් වහන්සේ බවට හඳුන්වා ගනිමින් කැලණිය විහාරස්ථානයට පසුගිය පළමුවැනිදා පාදීර්භූත වූ මෙම පුද්ගලයා පැහැදිලිවම රංගන ශිල්පියකු බවත් අවුරුදු 10 ක් ඊජිප්තුවේ වාසය කරන අතරතුර බුදු දහමේ ඇති සූත්‍ර විකෘති කරමින් දේශනා දෙසීයකට අධික ප්‍රමාණයක් සමාජ මාධ්‍යයන්ට හා යු- ටියුබ් නාලිකාවන්ට මුදාහැර ඇති බවත් කී දිලීප පීරිස් මහතා මෙම සැකකරුගේ දේශනාත් සියදිවි නසා ගැනීමට පෙළඹවීම් කරමින් දේශනා පැවැත්වූ දේශකයාගේ දේශනාවලට සමාන යැයි ද කීය.
සියදිවි නසාගෙන නිවන් යන්න පුළුවන් බවට දේශනා කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් එය ඉතා භයානක තත්වයක් බවත් නඩු විසඳා දිය හැකි පුද්ගලයකු පහළ වී ඇති නිසා නඩු තියෙන අය තමන් ළඟට පැමිණෙන ලෙස කියමින් දේශනා පැවැත්වීම මෙරට අධිකරණ පද්ධතියට, නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් කිරීමක් බවද කී දිලීප පීරිස් මහතා පරිස්සම් වෙන්න කියා නීතිපතිතුමාට තර්ජනය කරන සැකකරු නඩු විසඳන විනිසුරුතුමා පහළ වෙලා කියමින් රටේ නීතිය අවමානයට ලක් කරන්නේ යැයි ද පැවසීය.
යසෝදරා දේවියට අසු මහා ශ්‍රාවකයන්ට පරිභව කරන මෙම මන්ද මානසික පුද්ගලයා පැහැදිලිවම පැහැඳිලිවම රංගන ශිල්පීයකු බවත් මෙවන් පුද්ගලයන්ට උඩගෙඩි දෙන සිල් මෑණිවරුන්ගේ පොලිස් නිලධාරීන්ගේ කටයුතු මෙහි ශෝචනීයම තත්වය බවත් ගුවන් තොටුපළේ සිට කැලණියට ලිමෝසීන් වර්ගයේ කාර් රථයකින් පැමිණෙන මොහු එහි ගෙන්වා ගත්තේ රුපියල් 10,000/- ක මුදලක් යවා බව සිල් මෑණියන් ඇගේ කටින්ම කියන්නේ යැයි ද කී දිලීප පීරිස් මහතා මෙතරම් විශාල මුදලක් වියදම් කරමින් ජනතාවගේ ධනය සූරාකන සැකකරු ළමා අපචාර කර ඇති බව ඔහුම ප්‍රකාශ කර ඇතැයි ද පෙන්වා දුන්නේය.
මෙම සැකකරු පටු ආර්ථික ලාභ උදෙසා දේශනා පවත්වන්නකු, ව්‍යාපාරිකයකු, රංගන ශිල්පීයකු, ළමා අපචාර කළ පුද්ගලයකු යැයි කී දිලිප පීරිස් මහතා විමර්ශන අතරතුරු මොහු විදේශගත වීමට හැකියාව ඇති නිසා සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද ඔහුගේ නමින් හා ජාතික හැඳුනුම්පත් අංකයෙන් ඇති බැංකු ගිණුම් සම්බන්ධයෙන් බැංකු වාර්තා කැඳවීමටද අවසර ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වල ප්‍රගතිය ලබන 17 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස රහස් පොලිසියට නියම කළේය.
රෝෂන් තුෂාර සහ විමුක්ති රුද්‍රිගු
0 Comments