awalokitheshwara-arrested

පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක පුවත් මැවූ ‘අවලෝකිතේශ්වර බෝධිසත්ව‘ නාමයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) කටයුතු කළේය.
පන්නිපිටිය ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට පත්ව ඇත.
මොහු පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කරන්නැයි ඉල්ලා බොද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබූ අතර  පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුනු දක්වා තිබුණි.


මෙම පුද්ගලයාට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කරන ලද්දේ ඒ අනුවයි.
 විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය
අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණි මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා අනුගාමිකයින්ගේ වැඳුම් පිඳුම් ලබන අයුරු වීඩියෝ ගත කර සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය කර ඇති බවත් කිසියම් මිථ්‍යා දෘෂ්ටියක් මත ආගමික අසමගියක් මතුකරවීමට උත්සාහ කරන බවටත් කරුණු වාර්තා කර තිබුණි.


180 දේශනා නමැති යූටියුබ් නාලිකාවක් හරහා මෙම පුද්ගලයා බුදුරජාණන් වහන්සේ හා යසෝදරා දේවිය පවා දැඩි අපහාසයට ලක් කර ඇති බව ද
මහායාන සූත්‍රය ආදී මාතෘකා ඔස්සේ මෙම පුද්ගලයා බුදු දහමට අපහාස වන ආකාරයෙන් යූටියුබ් හරහා අසත්‍යය කරුණු කාරණා ඉදිරිපත් කර බෞද්ධ ජනතාව නොමග යැවීමට කටයුතු කර ඇති බව ද වාර්තා විය.
ඔහු කැලණිය රජමහා විහාරයට සුඛෝපභෝගි මෝටර් රථයකින් පැමිණිමෙන් පසු සිල්මාතාවක් ඇතුළු පිරිසක් ඔහුට වැදුම් සිදුකරන අයුරු ද එක් වීඩියෝවක දැක්වුණ අතර බුදුදහම ගැන අලුත් අර්ථකථන සපයමින් විවිධ අදහස් පළකරනු වාර්තා විය.



ඒ් අනුව, ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනවල ප්‍රගතිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඔහුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අවසර දෙන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහෙස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා තිබුණි.
ඊට අවසර දුන් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබුනේ , ලබන 17 වනදා විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසයි.
පන්නිපිටිය ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ මෙම පසුබිමේය. ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.