awalokitheshwara-house

අවලෝකිතේශ්වර බෝධි සත්වයන් වහන්සේ බවට හදුන්වා ගනිමින් බෞද්ධාගමට අපහාස කරමින් විකෘති දේශනා පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුට නවාතැන් පහසුකම් සැලසීමේ කටයුතු කළ බවට අනාවරණය වූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ හිටපු බිරිඳ පොලීසියට කැඳවා ප්‍රකාශ ලබා ගත් බව කැස්බෑව පොලීසිය කියයි.

ඊට අමතරව ඇයට එම නිවස ලබා ගැනීමට උදව් උපකාර කළ ත්‍රිරෝද රථ රියදුරෙකුගෙන් මෙන්ම බෝකර්වරයෙකුගෙන්ද ප්‍රකාශ ලබා ගත් බව පොලීසිය සඳහන් කරයි.ඉකුත් (15දා) පන්නිපිටිය  ප්‍රදේශයේදී සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී කැස්බෑව, බටුවන්දර, සර්වෝදය මාවතේ දෙමහල් සුඛෝපභෝගී නිවසක නවාතැන් ගෙන සිටි බවට අනාවරණය විය.



සුදර්ශනී කරුණාරත්න නමින් හදුන්වන 58 හැවිරිදි එම කාන්තාව ප්‍රකාශ ලබාදෙමින් පවසා ඇත්තේ බණ ගෙදරකදී හදුනා ගත් ඉරේෂා නමින් මිතුරියක් මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බවත්, ඇයගේ ඉල්ලීම මත සැකකරුට නිවස සොයා දුන් බවත්ය. මිතුරිය ඇයට පවසා ඇත්තේ ධර්ම දේශනා කරන කෙනෙක් ලංකාවට පැමිණෙන හෙයින් ඔහුට භාවනා කිරීම සදහා මාස හයක පමණ කාලයකට සුවපහසු තැනක් සොයා දෙන ලෙසය.

එම කාන්තාවද මෙම සැකකරුට වරින් වර බෝධිසත්වයන් ලෙස හදුන්වමින් ප්‍රකාශ ලබාදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

ඇයගේ ප්‍රකාශ අනුව ඇයද මෙම සැකකරුගේ සමීප අනුගාමිකයෙකු ලෙස කටයුතු කරන්නියක් බවට සැක කළ හැකි යැයි පොලීසිය සදහන් කරයි.

ඇය පවසා ඇත්තේ තමන් කුලී ගමන් යන ත්‍රිරෝද රථ රියදුරු මාර්ගයෙන් මාසිකව රුපියල් 40000 බැගින් මාස හයකට රු. 240000 ක මුදලක් නිවෙස් හිමි වෛද්‍යවරයා වෙත ලබා දුන් බවත්, බ්‍රෝකර් ගාස්තු ලෙස ත්‍රිරෝද රථ රියදුරු වෙත රුපියල් 25000 ක් හා අනෙක් පුද්ගලයා වෙත රුපියල් 15000ක් ලබා දුන් බවත්ය. මේ සියලුම මුදල් ඕස්ට්‍රේලියාවේ සිටින මිතුරිය තමන් වෙත එවූ බවත්, සැකකරු වන බෝධිසත්වයන්ට තුන් වේලටම සාමාන්‍ය පුද්ගලයන්ට සපයන ආහාරවලින් දානය සැපයූ බවත් ඇය ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.



විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා එම කාන්තාවගෙන් මීට වසර කීපයකට පෙර නීත්‍යානුකූලව වෙන්ව ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

කැස්බෑව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ( කාන්තා ) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මියගේ උපදෙස් මත කාන්තා පොලිස් පරීක්ෂක නදීකා දිසානායක මහත්මිය ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.

බණ්ඩාරගම -බිමල් ශ්‍යාමන් ජයසිංහ