awalokitheshwara-mental-health

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අධිකරණ මනෝ වෛද්‍යවරයා අද (24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අධිකරණය, ඔහු ව මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරන ලෙස  නියම කළේ ය.

අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව නාමයෙන් පෙනී සිටිමින් දිවයිනට පැමිණි මහින්ද කොඩිතුවක්කු නැමැත්තෙකු අනුගාමිකයන්ගේ වැඳුම් පිදුම්වලට ලක් වන ආකාරයේ වීඩියෝ දර්ශන පසුගිය සමයේ සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, ඔහුගේ දේශන තුළින් බුදු දහමට අපහාස සිදු වන බවට ද චෝදනා එල්ල විය.

පසු ව පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණු සැකකරු, ජනවාරි 16 වැනි දා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ, සැකකරුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.



ඒ අනුව සැකකරු ඊයේ අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත රැගෙන ගිය අතර, එහි දී පැය 03කට ආසන්න කාලයක් වෛද්‍යවරුන් ඔහුගේ මානසික තත්ත්වය පරීක්ෂා කර තිබිණි.

සැකකරු සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විමර්ශනවල ප්‍රගතිය වාර්තා කළේ ය.

" ස්වාමීනී... මෙම සැකකරු පවත්වාගෙන යන '180 දේශනා' නමැති වෙබ් අඩවිය තුළින් දේශන 1,200ක් පමණ සමාජගත කර තිබෙනවා. '180  කෙටි දේශනා' වෙබ් අඩවිය තුළින් දේශන 479ක් පමණ සමාජගත කර තිබෙනවා. ඒ තුළින් සතියකට ඇමරිකානු ඩොලර් 350ක පමණ මුදලක් ඔහු උපයාගෙන තිබෙන බව අනාවරණය වුණා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රියදුරකු වශයෙන් සේවය කරන මදුවන්ත ජයවර්ධන නමැති පුද්ගලයා තමයි රුපියල් 25,000ක මුදලක් ගෙවා මෙම සැකකරුට ගුවන් තොටුපොළේ සිට කැලණියට පැමිණීම සඳහා 'ලිමොසින්' වර්ගයේ වාහනයක් කුලියට ගෙන දී තිබෙන්නේ. එසේම මෙම සැකකරුගේ ආරක්ෂාව සඳහා හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික ආරක්ෂක සමාගමකට රුපියල් 85,000ක මුදලක් ගෙවා පෞද්ගලික ප්‍රභූ ආරක්ෂකයින් 10 දෙනෙකු ලබාගෙන තිබෙනවා. මේ සියල්ල තුළින් මෙම සැකකරු ශ්‍රී ලංකාවට පැමිණ රංගනයක නිරත වූ බව තහවුරු වෙනවා" යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කරුණු දැක්වීය.



අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහේස්ත්‍රාත්වරයාගෙන් විමසා සිටියේ, මෙම සැකකරුට අදාළ මානසික වෛද්‍ය වාර්තාව අධිකරණයට ලැබී තිබේ ද යන්නයි.

එම විමසීමට මහේස්ත්‍රාත්වරයා මෙලෙස පිළිතුරු ලබා දී ඇත,

"මෙම සැකකරු සම්බන්ධයෙන් අංගොඩ මානසික වෛද්‍ය විද්‍යා ආයතනය මගින් කෙටි වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම වාර්තාව තුළින් මෙම සැකකරු සම්බන්ධ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩුකරයේ මුල් බී වාර්තාව අවශ්‍ය බව වෛද්‍යවරු දන්වා තිබෙනවා. කෙසේ වෙතත් මෙම සැකකරුට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව නිර්දේශ කරන බවත් බන්ධනාගාර අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥවරයා සදහන් කර තිබෙනවා."

එහි දී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, සැකකරු ඇප මත මුදාහැරීමෙන් පසුවද ඔහුට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හැකි බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ මුදාහරින ලෙසයි.

කෙසේ වෙතත් සැකකරුට ඇප ලබාදීම කෙරෙහි විරෝධය පළ කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පැවසුවේ, මෙම අවස්ථාවේ සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවොත් ඔහුගේ ඉදිරි ක්‍රියාකාරකම් හේතුවෙන් මහජන කැලඹීම් ඇති විය හැකි බවයි.

අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළා.



" සැකකරුට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අංගොඩ මානසික වෛද්‍ය විද්‍යායතනය මගින් නිර්දේශ කර තිබෙනවා. මෙම තත්ත්වය යටතේ සැකකරු මෙම අවස්ථාවේ දී ඇප මත මුදා හරිනු ලැබූවොත් ඔහු යළි සමාජයට ගොස් ආන්දෝලනාත්මක දේශන ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා. ඒ තුළින් භික්ෂූන් වහන්සේ ඇතුළු සමාජය තුළ යළි කැලඹීම් තත්ත්වයක් ඇති වීමටත් අවකාශය තිබෙනවා. එබැවින් නිසි ප්‍රතිකාර ලබා දීමකින් තොරව මෙම සැකකරු සමාජගත කිරීම අනතුරුදායක බව අධිකරණයේ මතයයි. ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කොට බන්ධනාගාරය මාර්ගයෙන් මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස මා නියෝග කරනවා."

ඒ අනුව සැකකරු පෙබරවාරි 07 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේ ය.