ayurveda-sisira-jayakody

ආයුර්වේද හා බටහිර වෛද්‍ය සේවා කටයුතු ඉදිරියේ දී ඒකාබද්ධව සිදුකිරීමට පියවර ගෙන ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි. රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා මේ බව කියා සිටියේ 2024 වසරේ ප්‍රාග්ධන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මහරගම නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඉකුත්දා පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.එහිදී රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.

පාරම්පරික ආයුර්වේද සිද්ධයුනානි වෛද්‍ය සේවාවන් එක් ජාතික වැඩපිළිවෙළක් යටතේ දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට 2023 අංක 19 දරන ආයුර්වේද සංශෝධිත පනතට අදාලව දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට ද පියවර ගෙන තිබෙනවා. එසේම ආයුර්වේද පර්යේෂණ, ශික්ෂණ රෝහල්, පළාත් දිස්ත්‍රික් රෝහල්, ග්‍රාමීය රෝහල්, මධ්‍යම බෙහෙත් ශාලා හා නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවල ප්‍රතිකාර ක්‍රම මේ තුළින් සංවර්ධනය කිරීමට ද නියමිතයි.

ඊට අමතරව කාර්ය මණ්ඩලය පුරෝකථනය කිරීම, අනුමත කර ගැනීම හා ආයුර්වේද හා බටහිර වෛද්‍ය සේවා ඒකාබද්ධ සහයෝග සත්කාර සේවාවක් ලෙස පවත්වාගෙන යාමටත් සංචාරකයන්ගේ ආකර්ෂණය වර්ධනය වන පරිදි විදේශිකයන්ට දේශීය වෛද්‍ය ප්‍රතිකාර සේවා නව ආරකින් ආරම්භ කිරීමටත් පියවර ගන්නවා.මීට අමතරව දේශීය වෛද්‍යක් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු නිරාකරණය කරගෙන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමටත් ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය වෘත්තිකයින්ගේ පුහුණු වැඩසටහන් ආරම්භ කිරීමටත් මෙම සාකච්ඡාවේදී තීරණය කළා.ඵලදායී කාර්යක්ෂම ගුණාත්මක සේවාවක් ලබාදීම වෙනුවෙන් මෙම පියවරයන් ගත් බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේය.



මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ.ටී.ඇම්.යූ.ඩී.බී. තෙන්නකෝන්, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන චන්දන තිලකරත්න, ශම්මි දෙනාවත්ත, ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා ඇතුළු දිවයිනේ සියලුම පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන්, ආයුර්වේද වෛද්‍ය සභාවේ නියෝජිතයන්, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිලධාරීහු ද සහභාගී වී සිටියහ.

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න