badovita-incident

මහා පරිමාණයේ හෙරොයින් ජාවාරම් කරුවකු වන ‘බඩෝවිට අසංග” යන අයගේ ප්‍රධාන ගෝලයෙකු අලෙවියට සන්තකයේ තබාගන සිටි හෙරොයින් මිලිග්‍රෑම් 7400 ක් සමග බඩෝවිට 1 වන අදියරදී ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි.සැකකරු බඩෝවිට 1 වන අදියර පදිංචිව සිටින වයස අවුරුදු (34) ක් වන අයෙකි.

බඩෝවිට අසංග යන ජාවාරම්කරු ලබාදෙන උපදෙස් අනුව මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන යන බව හෙළිවී ඇතැයි ද පොලීසිය පවසයි.

මේ දිනවල ක්‍රියාත්මක වන 'යුක්තිය මෙහෙයුම' යටතේ ගල්කිස්ස කොට්ඨාස තුළ ක්‍රියාත්මක වන වැඩසටහනට අනුව බඩෝවිට ප්‍රදේශයේ මෙහෙයුමක යෙදී සිටින අතරතුර දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් අංජන මහතා වෙත ලද තොරතුරකට අනුව කිසියම් පුද්ගලයකු සැකකටයුතු ලෙස පාලම අසල ගැවසෙමින් සිටින බවට ලද තොරතුරකට අනුව සැකකරු පරීක්ෂාවට ලක්කළ විට ඔහුගේ කලිසම් සාක්කුවේ සඟවාගන සිටි හෙරොයින් මිලිග්‍රෑම් 7400 තොගය හමුවී ඇති බවත්, එය කිසියම් පුද්ගලයකු මිලදී ගැනීමට පැමිණෙන බවත් ඔහුට ලබාදීම සදහා ප්‍රදාන ජාවාරම්කරු දූරකථන මාර්ගයෙන් ලබාදෙන තොරතුරු අනුව හෙරෝයින් රැගෙන ආ බවත් හෙළිවී ඇතැයිද පොලීසිය කියයි.



සැකකරුගෙන් වැඩිදුර සිදුකළ විමර්ශනයේදී තමා වෙත තොග වශයෙන් ලැබෙන හෙරෝයින් නිවසේ සිට පැකට් කර දීර්ඝ කාලයක් තිස්සේ රත්මලාන, ගල්කිස්ස, මොරටුව, පිළියන්දල, දෙහිවල යන ප්‍රදේශවලට බෙදාහැර ඇති බවටත් අනාවරණයවී ඇති බැවින් සැකකරු අධිකරණය මගින් ලබාගත් රැඳවුම් නියෝග මත රඳවා තබා වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බව පොලීසිය පැවසීය.
 එච්. එම්. ධර්මපාල