badulla-incident
දැඩි ආර්ථික අසීරුකම් මැද ජීවත්වූ පවුලක පාසල් ශිෂ්‍යාවක් උපකාරක පන්ති යාමට ගාස්තු සොයාගත නොහැකිව සියදිවි නසාගෙන තිබේ.

බදුල්ලේ ප්‍රධාන පෙළේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ, බදුල්ල පුවක්ගොඩමුල්ල පදිංචිව සිටි 16 හැවිරිදි ශිෂ්‍යාවක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.



මේ පිළිබඳ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්කි දුන් ඇගේ මව වන ෆව්සි ලිනායා (42) නමැත්තිය මෙසේ කීවාය.



”මගේ මහත්තයට ස්ථිර රැකියාවක් නැහැ. අපට ගැහැනු දරුවන් හතර දෙනෙක් සිටිනවා. මියගිය දුව ලොකු දරුවායි. දුව ඉගෙනීමට දක්ෂයි. මම අසනීප ගතියකින් පෙළෙනවා. මහත්තයට ස්ථිර රැකියාවක් නොතිබූ නිසා අපිට ආර්ථික ප්‍රශ්න තිබුණා. දුව ගණිතය සඳහා උපකාරක පන්තිකට යන්න සල්ලි ඉල්ලුවා අපි ළඟ සල්ල තිබුණේ නැහැ. මම කිව්වා දුව මම කොහොන් හරි හොයල දෙන්නම් කියලා. මේ අතරේ මම මහත්තයට දොස් කිව්වා. එයාටත් කරන්න දෙයක් තිබුණේ නැහැ. එතකොට මහත්තය තරහවෙලා කිව්වා මම කොහේහරි යනව කියලා. දුවගේ සිත රිදිලා තිබුණා සවස 3.00 ට විතර දුව වැසිකිළි ගිහින් සියදිවි නසාගැනීමට උත්සාහ දරා තිබුණා. අපි වහාම දුව බදුල්ල මහ රෝහලට අරගෙන ගියා. බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දුව මියගියා. "



බදුල්ල මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්.ඒ.සී.ලක්මාලි මහත්මිය පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ අතර ඉදිරිපත්වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ඉදරිපත්වූ සාක්කි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා මෙය සිය දිවි නසා ගැනීමක් බවට තීරණය කළේය.

 බදුල්ල පාලිත ආරියවංශ