bambalapitiya-oic

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවකු නිදහස් කිරීමට බම්බලපිටිය පොලීසියේ නිලධාරීන් ඉල්ලා සිටි විට එම නිලධාරීන්ට තරයේ අවවාද කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා උසාවියට අසත්‍ය කරුණු දැක්වීම පිළිබඳ විමසීමට බම්බලපිටිය පොලිස්ථානාධිපතිවරයා අධිකරණයට කැඳවීමට ඊයේ (08දා) තීරණය කළේය.



සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ද්‍රව්‍යවල හෙරොයින් අඩංගු බවට රජයේ රස පරික්ෂකවරයා විසින් වාර්තාවක් නිකුත් කර තිබියදීත් රස පරීක්ෂක වාර්තාව අනුව හෙරොයින් හඳුනාගෙන නැතැයි වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දෙමින් සැකකරු නිදහස් කරන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

අධිකරණයේ සාමාන්‍ය කටයුතු අතරතුර බම්බලපිටිය පොලීසියේ නඩු කැඳවමින්, හෙරොයින් සන්තකයේ තබාගත්තේ යැයි අත්අඩංගුවට පත් සැකකරුවකුට එරෙහි පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී බම්බලපිටිය පොලීසියේ නඩු කටයුතු මෙහෙයවන පොලිස් නිලධාරියා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකරුවකු සන්තකයේ

තිබූ ද්‍රව්‍යයේ හෙරොයින් හඳුනාගෙන නැතැයි පවසමින් ඔහු නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී බම්බලපිටිය පොලීසිය ගොනු කළ වැඩිදුර වාර්තාව සහ රජයේ රස පරික්ෂකවරයාගේ වාර්තාව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රස පරීක්ෂක වාර්තාව අනුව සැකකරු සන්තකයේ තිබු ද්‍රව්‍යවල හෙරොයින් ඇති බවට හඳුනාගෙන ඇතැයි අවධාරණය කළේය.

මෙම අවස්ථාවේදී බම්බලපිටිය පොලීසියේ නිලධාරීන් ඇමතූ මහේස්ත්‍රාත්වරයා "රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව බලන්නේ නැතුවද වැඩිදුර වාර්තාව ඉදිරිපත් කළේ?” යනුවෙන් ප්‍රශ්න කළේය.

"සාමාන්‍ය මනුෂ්‍යයෙක් මේ වගේ ලේඛනයක් ඉදිරිපත් කළා නම් පොලීසියට මේක කූට ලේඛනයක් නේද?" යැයි වැඩිදුර වාර්තාව ඉදිරිපත් කළ බම්බලපිටිය පොලිස් නිලධාරියාගෙන් මහේස්ත්‍රාත්වරයා

ප්‍රශ්න කළ විට ”වැඩිදුර වාර්තාව ටයිප් කිරීමේදී වැරදීමක් සිදුවෙලා” යනුවෙන් පොලිස් නිලධාරියා පිළිතුරු දෙමින් පැවසීය.

රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවට අනුව හෙරොයින් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩුවක් ගොනු කරන ලෙස පොලීසියට නියම කළ මහේස්ත්‍රාත්වරයා අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් උසාවියේ පෙනී සිට කරුණු දැක්වීමට බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට නියම කළේය.

 බුද්ධිමාල් රුබේරු